Monday 24 December 2018

ලංකාවේ ඇමරිකන් රෙස්ලින්




අද ලංකාවේ දේශපාලනය දෙස බලන විට මගේ මතකයට එන්නේ American Wrestling ය. එකෙක් අනෙකාට දැන් දැන් මැරී වැටෙතැයි අපිට සිතෙන ආකාරයෙන් පහර දෙයි. සමහර විට පුටුවකින්ද ඔලුවට ගසයි. හැමවිටම ඔවුන් අතට හසුවන්නේ එකම හැඩයේ එකම විදියේ පුටුවකි. ටික වෙලාවකින් ගුටි කෑ හාදයා කිසිම දෙයක් නොවුනා සේ ගුටි දුන් එකාට අර විදියටම බැට දෙයි. 

මෙහි වඩාත්ම විනෝදාත්මක කොටස උන්මාදයෙන් මෙන් දඟලන නරඹන්නන්ගේ විසිල්, බල්ටි සහ අනෙකුත් විප්‍රකාරයි. 

- පිටස්තරයෙක් 

...............................................................................

මෙම මල්ලවපොර දර්ශන නරඹන කුඩා දරුවකුට වුවත් එම සියළු සටන්වල ඇති විකෘති ස්වභාවය මැනවින් අවබෝධ වෙයි. මේ ගැන මට ප්‍රත්‍යක්ෂ අදහසක් දුන්නේ එම ව්‍යාපාරයට සම්බන්ධ කළමනාකරුවකු විසිනි. මෙක්සිකන් සම්භවයක් ඇති ඔහු මට හමුවන්නේ අහම්බෙනි. 

වරක් ඩුබායි ගුවන් තොටුපලේ ඉතාලියට යන ගුවන් යානය බලපොරොත්තුවෙන් සිටි මට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මගේ නම කියවෙනු ඇසුනි.

"ඉතාලියේ වැනීසි නගරය දක්වා අසවල් ගුවන් යානයෙන් ගමන් කිරීමට සිටින C. Gomes මහතා අසවල් කවුන්ටරය වෙත වහා පැමිණෙන්න". ගුවන් තොටුපලකදී මෙවැනි නිවේදනයක් නිතැනින්ම ඔබ තැති ගැනීමට ලක් කරයි. 

වහාම අදාළ කවුන්ටරය වෙත ගිය මා එහි සිටි සේවිකාව අමතන්න සූදානම් වුවා පමණකි. කිටිකිටියේ ඇඟට තදවුනු ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී සිටි හයේ හතරේ පුද්ගලයෙකු (සුවිසල් දේහධාරියකු) මටත් පෙර සේවිකාව ඇමතීය. 

"ඔබ මාව ඇමතුවා නිවේදන පද්ධතියෙන්, මොකක්ද හේතුව? මම ක්‍රිස්ටියන් ගෝමස්" ඔහු ඇසුවේ තරමක් නොසන්සුන් ස්වරයකිනි. 

"මම චන්දිම ගෝමස්. යන්නේ වැනීසියට. මම හිතුවේ ඔබ ඇමතුවේ මාව කියා" මමද මේ යෝධයා පරදන හඬින් පැවසුවෙමි. 

"ඔහෝ, මෙය කලාතුරකින් සිදුවන සමපාත වීමක් (coincidence)". ගුවන් සේවිකාව සිනහ මුසු මුහුණින් පැවසුවාය. යෝධයාටද සිනහ පහළවිය. 

ඇමතුම ලැබී තිබුනේ ක්‍රිස්ටියන් ගෝමස්ටයි. ප්‍රථම පන්තියේ ආසනයක ගමන් කරන ඔහුගේ checked-in බෑගය හඳුනා ගැනීමේ ගැටළුවක් මතුවී තිබුණි. මම ඔවුන්ට සමුදී නැවතත්, ගුවන් යානයට නැගීමට පෙර මගීන් රැඳී සිටින ශාලාවට පැමිණියෙමි. 

ටික වෙලාවකින් ක්‍රිස්ටියන්ද ශාලාව වෙත පැමිණි අතර ඉදිරිපෙළ ආසනයක සිටින මා දුටු ඔහු එදෙසට පිය නැගීය.

"What a coincidence" කියමින් ඔහු මා අසලම වූ අසුනේ වාඩි ගත්තේය. 


එතැන් පටන් ඊළඟ පැයක පමණ කාලය තුල මා සමග ඉතා කුළුපඟ වූ මේ අපූරු පුද්ගලයා වෘතිය පිළිබඳව බොහෝ දේ මා සමග පැවසුවේය. 

දිග කතාවක කෙටි සාරාංශය මෙසේය. 

බොහෝ විට ඇමරිකානු මල්ලව පොර තරඟ සඳහා ඉදිරිපත්වන තරඟකරුවන් යොදවන්නේ සමාගම් හරහාය. මෙහිදී එම සමගම සහ තරඟ සංවිධායකයන් අතර මූලික එකඟතාවයක් ඇති කරගනී. 

සමහර තරඟ මුල සිට අගටම 100% ක් පෙර ලියන ලද තිර රචනයකට අනුව ක්‍රියාත්මක වෙයි. සමහර තරඟ 50% ක් තිර රචනය අනුව සිදුවන අතර ඉතිරි කොටස ඒ අවස්ථාවේදී තරඟ කරුවන්ට අවශ්‍ය ආකාරයට සිදුවේ. තරඟ නීති උල්ලංඝනය කිරීම්ද පෙර සිදුවන එකඟතා අනුව ක්‍රියාත්මක වේ. 

සියල්ල සිදුවන්නේ නරඹන්නාගේ විනෝදාශ්වාදය උපරිම තලයකට ගෙන ඒම සඳහාය. සමහර විට ක්‍රීඩකයාට අදාළ සමාගම අවසාන මොහොතේදී තිර රචනය අනුව තරඟ කිරීමට නම් වැඩිපුර මුදල් ඉල්ලා සිටින අවස්ථා නැතුවාම නොවෙයි. සමහර අවස්ථාවල මෙහිදී ඇතිවන විසංවාද කෙලවර වන්නේ ක්‍රීඩකයා තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමෙනි. සමහර විට තරඟය පටන්ගත් සැනින් එකෙක් පරාජය වෙයි. මෙය සංවිධායකයන්ට රිදවීමේ හොඳම ක්‍රමයයි. 

ක්‍රිස්ටියන්ට අනුව මේ කිසිඳු අවස්ථාවක සූදුව සඳහා තරඟ පාවාදීමක් සිදුවන්නේ නැත. සියල්ල කෙරෙන්නේ නරඹන්නාගේ උපරිම තෘප්තිය සඳහාය. 

"ඉතින් බලන්න එන මිනිස්සු දන්නේ නැද්ද මේ තරඟ කලින් සැලසුම් කර ක්‍රියාත්මක වන බව" මම ක්‍රිස්ටියන්ගෙන් ඇසුවෙමි. 

"බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා" ඔහු ඉතා සැහැල්ලුවෙන් පැවසීය.

"එහෙනම් ඇයි ඔවුන් මේ තරඟ බලන්න ඇවිත් ඔය තරම් ඔල්වරසන් දෙන්නේ" 

"ඔබ චිත්‍රපටි බලන්නේ නැද්ද? චිත්‍රපටි බලන්න ඇවිත් වීරයා දිනන විට විසිල් කරමින් කෑගසන මිනිසුන් ඔබ දැක නැද්ද? නැතිනම් ඔබ මෙක්සිකෝවට පැමිණෙන්න" කියමින් ක්‍රිස්ටියන් මහා හඬින් සිනාසුනේය.


ලංකාවේ දේශපාලනයට වඩා ඇමරිකන් රෙස්ලින් යතාර්ථවාදී බව මට සිතෙයි. 



Sunday 23 December 2018

අද දේශපාලනය - පිටස්තරයෙකුගේ ඇසින්


1980 ගණන්වල කෝට්ටේ රජ මහා විහාරයේ පැවති උත්සවයකදී එවකට ප්‍රවීණ දේශපාලඥයන්වූ කිහිප දෙනෙක් සංවාදයේ  යෙදෙන දුර්ලබ අවස්ථාවක් දැක ගැනීමේ භාග්‍ය මට උදා විය. මේ 88/89 භීෂණයට පෙර සමයයි. එම දේශපාලකයෝ ආරක්‍ෂකයන් කිසිත් නොමැතිව ටකරන් මඩුවක පනවා තිබු අසුන් මත හිඳගෙන වුන්හ. එවන විට උත්සවයේ නිල කටයුතු අවසන් වී තිබුණු අතර ඔවුන් සතුටු සාමිච්චිය සඳහා තව දුරටත් රැඳී සිටින බව පෙනුනි. ඉතා සැහැල්ලුවෙන් එහෙත් බැරෑරුම් කරුණු සම්බන්ධයෙන් ඔවුහු සාකච්චා කළහ. 

එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල ආනන්ද තිස්සද අල්විස් සහ නිශ්ශංක විජයරත්න යන මහත්වරුන්ද, වාමාංශික ව්‍යාපාරයේ නියමුවෙකු වූ ලෙස්ලි ගුණවර්ධන මහතාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල ස්ටැන්ලි තිලකරත්න මහතාද තවත් නාදුනන අයෙක්ද එහි විය. 

ශ්‍රී ලංකාවේ එවකට පැවතී විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව විය. නිශ්ශංක විජයරත්න මහතා ඉතා අඩුවෙන්ද නාදුනන පුද්ගලයා ඉතා තීව්‍ර වශයෙන්ද මෙහිදී අදහස් දැක්වීය. එවකට සිටි මහාමාත්‍යවරුන්ගේ නම් මෙන්ම ලෝක දේශපාලනයේ චරිතද සංවාදයට ඇදී ආවේය. සෑම චරිතයකම ආකල්ප පමණක් සකච්චාවට බඳුන් විය. විටෙක පන්සල් පරිසරයක තිබිය යුතු හඬ මට්ටම ඉක්මවා යන තරම් කතාබහ වේගවත් විය. 

ඊට වසර කිහිපයකට පසු එදා එම සංවාදය අසාගෙන සිටි කිහිප දෙනාගෙන් අයෙකු මට සරසවියේදී මුණගැසුණි. ඔහුගෙන් දැනගත් පරිදි අර නාදුනන පුද්ගලයා එස් ඩී බණ්ඩාරනායක විය. ඔහු ගම්පහ අසුන නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකි. 

ඉන් දශක කිහිපයකට පසු මට නැවතත් නුතන දේශපාලකයන්ගේ සංවාදයකට ඇහුම්කන් දීමට සිදුවිය. ඒ දිවයිනේ ප්‍රධාන පාසල් දෙකක ආදී සිසුන්ගේ සුහඳ හමුවකදීය. මෙම දේශපාලකයන් බොහෝ දෙනෙකුගේ අද පක්ෂය, ඊයේ පක්ෂයවත් හෙට පක්ෂයවත් නොවේ. කිහිප දෙනෙක් පමණක් එක්සත් ජාතික පක්ෂයේ චිරාත් කාලයක් රැඳී සිටින්නේය. 

ඔවුන් අතරින් කිහිප දෙනෙකුම මා පෞද්ගලිකව දැන හඳුනන බැවින් ඔවුන් ගේ නම් මෙහිදී සඳහන් නොකරමි. මේ වන විට මොවුන් ජවිපෙ හැර ලංකාවේ අනෙක් බොහෝ පක්ෂවලට අයත්ය. 

පක්ෂය කුමක් වුවත් ඔවුහු එකම කුලකයකට අයත් වන්නාහ. ඔවුන්ගේ සංවාදය කෙනෙකුට ඉතා විනෝදජනක ලෙස හැඳින්විය හැක. තවෙකෙකු ඉතා පිලිකුල්දායක ලෙස දැකිය හැක. මම ඒ පිළිබඳව විනිශ්චය නොකරමි. 

ඔවුන් ගේ ප්‍රධාන මාතෘකා වුයේ තම තමන්ගේ පක්ෂ වලම සිටිමින් "කඩේ යන" අනෙකුත් මන්ත්‍රී / ඇමති වරුන්ය. ඒ ඔවුන්ගේ කැලෑසියෙන් බොහෝ පහල සිටින අමනයන් පිරිසකි (ඔවුන්ට අනුව). ඒ දෙවන, තුන්වන පන්තියේ සඟයන් මේ ඉහල පන්තියේ "ශිෂ්ඨ" මිනිසුන්ගේ උපහාසයට (ඇත්තෙන්ම දැඩි අපහාසයට) ලක්වන ආකාරය ජුගුප්සා ජනකය (ආනන්දජනක හෝ ඛේදජනක ලෙස තවෙකෙකුට විස්තර කල හැක). 

යම් දේශපාලන නායකයෙක් වෙනුවෙන් කඩේ යන දේශමාමකත්වය ඉහවහා ගිය එක් දේශපාලකයෙක්, ඔහුගේම පැත්තේ ඉහල පන්තියට අනුව, මස් කට්ටක් වෙනුවෙන් තම ස්වාමියා අණ දුන් විට බුරා පනින කීකරු බලු දන්ඩෙකි. ඔහුගේ නිවස ඔහුට මෙන්ම ජනතාවටද මහා මෙරක් වුවත් එය මේ හයි-ක්ලාස් පිරිසට අනුව නම් ගුබ්බෑයමකි. ඔහු හිරේ යන්න ඇති බිය නිසා තම බාල වයසේ දියණියද දේශපාලන වේදිකාවට නැංවූ බව කියැවුණි. මෙහිදී මෙම දේශපාලුවා අයත් පක්ෂයේ තරුණ නායකයෙක් උපහාසාත්මකව ප්‍රකාශ කලේ හොඳ පෙඩිගිරියක් ඇති බල්ලෙක් නිසා සාධාරණ මිලකට ආවොත් ඔහුව විකුණා දමන බවයි.

තවත් සුපිරි දේශපාලන පක්ෂයකට අයත් නාහෙට නාහන දඩබ්බරයෙක් සහ නළු බට්ටෙක් පිළිබඳවද එම පක්ෂයේම උදවිය කියූ කතා බොහෝ දෙනෙකුට සිනහ පහල කළේය. ඔවුන් "ඩිංගක් ෆෝර්ම් කලාම ඕනෙම ගේමකට යවන්න පුළුවන් බිලී බෝයිස්ලා" බව මේ කැලෑසියේ අදහසයි.  

තව කිව හැකි දේ බොහෝය. එහෙත් මම මෙතෙකින් විස්තරය නවතමි.

...............................................................................................

තම පන්තියේ පැවැත්ම වෙනුවෙන් පහල සමාජ මට්ටම්වල පුද්ගලයන් කඩේ යැවීම අදටත් වඩා දරුණුව එකල තිබෙන්නට ඇත. තම පන්තියට එතරම් වැදගත් නොවන තරමක් විශාල ගෙවල් දොරවල්, යාන වාහන සහ සමාජයේ කැපී පෙනෙන එහෙත් අඳබාල චරිතයක් වැනි දේ ලබාදී බාලයා බැලමෙහෙවරෙහි යෙදවීම වැඩවසම් යුගයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නෂ්ඨාවශේෂ වූ දායාදයකි. එහෙත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් එදා ඉහල කැලෑසියේ දේශපාලකයා දීන නොවීය. එහෙත් අද තත්වය වෙනස්ය. මේ වෙනස ඇති කලේද ජනතාව විසින්මය. පවතින ව්‍යවස්ථාවද යම් පමණකට ඊට දායක විය. 

කිසිඳු වග විභාගයකින් තොරව දේශපානයට කිසිසේත් සුදුසුකම් නැති ජනප්‍රිය නළු නිලියන්, ක්‍රීඩකයන් ඉහල චන්ද ප්‍රතිශත වලින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව උත්සුක විය. දේශපාලන ප්‍රතිරූපය අන්තයටම පිරිහී ජනතාව විසින් ගෙදර යැවූ දේශපාලකයන් අත්ලොස්සද නැවතත් පත්කළ මන්ත්‍රීන් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඇමති කම් පිරිනැමීමට තරම් නායකයෝ විලි ලැජ්ජාවක් නැති තැනකට පත්විය. "අපි මොන අයහපත් දේ කලත් පාර්ලිමේන්තුව ඇතුලේ" යන අදහස දේශපාලකයා තුලට කා වැදෙන්නේ මේ වාතාවරණය තුලයි.

........................................................................................

දැන් අපි පසුගිය දෙමස දෙස හැරී බලමු. මෙම වකවානුව පසුගිය දශකය පුරා රටේ පැවති දේශපාලන කතාවේ කෙටි සාරාංශයක් විය. මා දකින ආකාරයට නම් ඔවුන් සියල්ලෝම හොරුය. වෙනසකට ඇත්තේ හොරුන්ගේ වර්ගිකරණයයි. 

හොරකමේ ප්‍රමාණය අනුව පොඩි, ලොකු, මහා, දැවැත්ත ආදී වශයෙන් බෙදීමක් ඇත. මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකධුරයේ සිට ජනාධිපතිධුරය දක්වා යාමට මිනිසුන් වලිකන්නේ මේ වර්ගීකරණයේ ඉහල ශ්‍රේණියට සමත්වීම සඳහාය. 

පීචං හොරු සහ වැදගත් හොරු ලෙස තවත් දෙකොටසකි.  ප්‍රාදේශීය සභාවේ සිටියදී වැලි ලොරියෙන් ගත්ත කප්පමද ඇමතිකමක් ලැබුණ පසුත් ගන්න හදන පිරිස පළමු කොටසයි. ඔවුන් තත්වය අනුව හොරකම අප්ග්‍රේඩ් කරගන්න තරම් විඥානයක් නොමැති උදවියයි. වැදගත් හොරු පහසුවෙන් අදාළ සමාජ තත්වයට අනුගත වෙයි. 

ශූර හොරු සහ අමන හොරු ලෙස ඇත්තේ වැදගත්ම වර්ගීකරණයයි. 2015 ජනවාරියේදී සිදුවන්නේ වැඩි බලතල පළමු කොටසින් දෙවන කොටසට හුවමාරු වීමයි. ශූර හොරු සොරකමේදී සුක්ෂම වෙති. ඔවුන් ලෙහෙසියෙන් නීතියේ රැහැනට හසුවන ලෙස හොරකමේ නොයෙදෙති. අමන හොරු කලබලකාරිය, සොර කලාවෙහි ලා ඥානය මදය. පහසුවෙන් හසුවෙති. 

මා දකින ආකාරයට 2015 ජනවාරි විප්ලවය ජනතාවට වැදගත් වන්නේ මේ සොරුන් වර්ගයේ වෙනස්කම සිදු වූ නිසාවෙනි. තවත් ශූර හොරුන් පිරිසකට බලය හුවමාරු වුවා නම් රට වල පල්ලටම යනතෙක් සොරකම සිදුවන්න තිබුණි. අමන සොරුන් නිසා සොරකම් කිරීමේ ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් විය. ඒ සමගම කල යුතුව තිබුනේ ජනතාව එකාවන්ව නැගිට සොරකමට එරෙහිව සිටි-සිටින සියළුම පාර්ශවයන්ට එරෙහිව කටයුතු කිරීමට පාලන තන්ත්‍රයට මෙන්ම අධිකරණයටද බලකිරීමයි. 

නමුත් අවාසනාවකට සිදු වුයේ වෙනෙකකි. ජනතාවට එදිරිව සියළුම හොරු අත්වැල් බැඳගන්නා ලදී. සොරකම් සෙවීමේ යාන්ත්‍රණයක් වෙනුවට නොයෙකුත් ආකාරයේ නර නාඩගම් එකක් හැර එකක් රටේ මතු වන්න විය. ජනතාව ඒවා පසු පස හැල්මේ දිව ගියා මිස තමාගේ උන්නතිය උදෙසා විය යුත්තේ කුමක් දැයි කල්පනා කලේ නැත.

පොලියට ගත් නය ගෙවීමට පොලියට ගත් නයෙන් විශාල ප්‍රමාණයක් ගසා කෑමේ ප්‍රතිඵල අද අපට ඇස් පනාපිට පෙනෙන්නට ඇත. රටේ මුළු ආදායම ඉක්මවා යාමට ආසන්න තරම් මුදලක් නය වාරික ලෙස ගෙවිය යුතුය. රටේ ආරම්භ කල බොහෝ ව්‍යපෘති චීනයට පවරා දීම හැර වෙන දෙයක් කිරීමට කිසිවෙකුටත් නොහැකි තත්වයක් උද්ගතවී ඇත. උදාවන සෑම දිනයක්ම නිමා කිරීම රටට අති විශාල අභියෝගයක් වී ඇත. 

මේ සියල්ල ජනතාවගෙන් වසන් කර තව ටික කලක් ඇදගෙන යාමට (හොරා කෑමට) දේසපාළුවා ඉතා හොඳ සුසංයෝගයකට පැමිණ සිටියි. වරකට එක බැගින් එක් පසෙකින් විදේශ කුමන්ත්‍රණ, බුදු දහම හා සිංහල ජාතිය, සමනලයන්, කොටි ත්‍රස්තවාදය, මහා බැංකු කොල්ලය මහජනතාව වෙත මස් කටු සේ විසිකරයි. අනෙක් පසින් තජුඩීන්, සිරිලිය ගිණුම, ක්‍රිෂ් ගනු දෙනුව, සුදු වෑන් සංස්කෘතිය, චීන ගිවිසුම් විසි කරයි. මහජනතාව තමන් සිටිනා පුපුරන්න ආසන්න ගිනි කන්ද පිළිබඳව අමතක කර මස් කටු වලට පොරකයි. සොරුන්ගේ එකමුතුව කොපමණ ප්‍රබල දැයි අද සමාජ ජාල කියවන පිටස්තරයෙකුට පහසුවෙන් වටහාගත හැක. 

ඔබ පසුගිය වසර 3-4 ක පමණ කාලය හොඳින් නිරීක්ෂණය කළහොත් ඔබට ඉතා හොඳින් යම් කාරණයක් වැටහෙනු ඇත (වටහා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්නම් පමණක්). දේශපාලුවන් කිසිවෙක් ඔවුනොවුන් කිසිවෙකුට හානි කරන්නේ නැත. හොඳින් සැලසුම් කල පිටපතක් ඉඳහිට ජනතා ප්‍රදර්ශනය සඳහා රඟ දැක්වෙන අතර ජනතාව දෙපිල බෙදී විසිල් ගසයි නැත්නම් හූ කියයි. 

දෙසපළුවන් එකෙක් වැටෙන විට සාමාන්‍යය ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි ලෙස විරුද්ධ පිලෙන් එකෙක් ඉදිරිපත්වී ඔහුව ගොඩ ගනී. මෙය පෞද්ගලික මෙන්ම සාමුහික මට්ටමින්ද සිදුවේ. මේ රංගනයට නොයෙකුත් ආකාරයෙන් දායක වෙමින් මස් කුට්ටිය බෙදා ගැනීමට හවුල්වන වෘතිය සමිති කිහිපයක්ද වේ.  

දැන් ජාතියක් ලෙස අප ප්‍රමාද වුවා වැඩි බව මට සිතේ. ඊළඟ වසර තුල තෙල් මිල, බඩු මිල මෙන්ම බදු බරද අඩුවනු ඇති බව තාර්කිකව සිතන අයෙකුට පැහැදිලිව පෙනෙයි. ඒ නුවණැති පොලිටික්කාගේ තාවකාලික ගැලවීමේ ක්‍රමවේදයයි. 

මේ සහන පිළිබඳව ප්‍රවෘති ඇසෙන විට ඔබට හඬා වැලපීමට සිතේ නම් ඔබ බුද්ධිමත් අවාසනවන්තයෙකි. 








Wednesday 5 December 2018

අද දේශපාලනයට පෙරවදනක් - පදිකයෙකුගේ ඇසින්



වසර 7 ක් පුරා දැලි පිහියෙන් කිරිකන හැටි ලොවට කියා දුන් රාජ්‍ය නායකයා ලෙස මම ඔහුව හඳුන්වා දෙන්නෙමි. මෙතෙක් කල් මා, බලයේ සිටින රාජ්‍ය නායකයෙකු සමග සුහඳ කතා බහක යෙදී ඇත්නම් ඒ ඔහු සමග පමණි. ඔහු පර්වේෂ් මුෂරෙෆ්ය (Pervez Musharraf). මා දන්නා තරමින් හමුදා කුමන්ත්‍රණයකින් රටක් අල්ලා ගත් මිලිටරි නායකයෙක් දීර්ඝ කාලින පාලනයකින් පසු ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියා නම් ඒ මුෂරෙෆ් පමණකි. අනෙක් සියල්ලෝම එක්කෝ මිය පරලොව ගියෝය. නැතහොත් සිරගෙදර ගියෝය. 

මා මුෂරෙෆ් මහතා හමුවූ දිනම එවන විට පකිස්ථානය දැවැත්ත තාක්‍ෂණික විප්ලවයක් කරා මෙහෙයවමින් සිටි යෝධ චරිතයක් මුණ ගැසුණි. ඒ අතා-උර්-රහ්මාන් (Atta-ur-Rahman) නම් විද්‍යාඥයාය. කලින් සිටි ඇමතිවරයෙක්ද වූ ඔහු ඒ වන විට මුෂරෙෆ් මහතාගේ දකුණු අත බඳු විය.  

ටික වෙලාවක් අප සමග කෝපි කෝප්පයක් තොලගාමින් සාමිච්චියේ යෙදී සිටි මුෂරෙෆ් මහතා අපෙන් සමුගෙන ගියේ මා රැගෙන යාමට වාහනය එන තෙක් අපට කතා බහ ඉදිරියටත් කරගෙන යන ලෙස ඉල්ලා සිටීමෙන් පසුවයි.  අතා-උර්-රහ්මාන් මහතා සමග ගත කල ඊළඟ විනාඩි 10ය මා ජිවිතේ ලද විශාලම දැනුම් සම්භාරයකට මග පෑදීය. 

පකිස්ථානය, ලංකාව වැනි ලෝකයේ ඇති ආර්ථික ඇබිත්තයන් පමණක් නොව යුරෝපයේ සියළු රටවල්, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි සද්ධන්තයන් පවා පසුගිය දශක ගණනාවක් තුල යම්තාක් දුරකට පාලනය වුයේ ඇමරිකානු සමාගම් කිහිපයකට අවශ්‍ය ආකාරයටය. මෙම සාකච්චාවෙන් පසුව ගෙවුණු දශකයකට වැඩි කාලය තුලදී මම අමතර කාරණා දෙකක් පසක් කරගතිමි. ඉන් පළමුවැන්න නම් සෙසු ලෝකය පමණක් නොව ඇමරිකානු පාලන තන්ත්‍රයද මෙම සමාගම් වල රූකඩයක් බවයි. දෙවැන්න,  ලෝකයේ සිටින ආර්ථික වශයෙන් අසරණ බොහෝ රටවල පාලන තන්ත්‍රයේ දුරස්ථ පාලකය ඇමරිකානු සමාගම් වලින් බිඳී නව වහල් හිමියකුගේ අතට පත්වෙමින් තිබෙන බවයි. ඒ චීනයයි.

"චන්දිම, අපිට බැහැ අපිට ඕනේ විදියට කෙබාබ් (Kebab) හදන්න. ඒක කරන්න ඕනේ ඇමරිකානු කොම්පැනි වලට ඕනේ විදියට. මේක තමයි සරල යථාර්තය. හැබැයි අපි අවංක නම් ඒ වගේම දක්ෂ නම් අපිට පුළුවන් අපේ දේවල් වලින් අපේ කටට ඕනේ රහට, ඒත් ඇමරිකන් කාරයට ඕනේ විදියට කෙබාබ් හදන්න". අතා-උර්-රහ්මාන් මහතා මට ඉතා දිග පාඩමක් කෙටියෙන් කියා දුන්නේය.

කොහොම කෙබාබ් හැදුවත් එක් අවස්ථාවකදී මුෂරෙෆ් මහතා ඇමරිකානුවන්ට අවශ්‍ය වට්ටෝරුවෙන් මදක් පිට පැන්නේය. ඒ ඔහු පමණට වඩා දේශීය බලවේගයන්ට කිට්ටු වූ බැවිනි. ප්‍රතිපලය වුයේ ඔහු බලයෙන් පහ වීමයි. එහෙත් බලයෙන් පහවී යහතින් තම ඉදිරි දිවිය ගෙනයාමට තරම් (යම් කාලයක් ස්ව-කැමැත්තෙන් රටින් පිටුවහල් වී සිටියද) මුෂරෙෆ් මහතා භාග්‍යවන්ත විය. ඒ ඔහු පකිස්තානු ජනතාවට අගතියක් නොකළ හෙයින් බව මම සිතමි.



දැන් මා ඔබට කීමට යන්නේ බොහෝ දෙනෙකුගේ හද පාරවන කතාවකි. එය සිංහල ඔබගේ හිතට යවුල් පහරක් වනු ඇත.

අපේ රටේ 30 අවුරුද්දක් තිස්සේ කුරිරු යුද්ධයක් තිබුණි.

"මෙම යුද්ධය ඉන්දියාවට අවශ්‍ය විට ඇරඹුණි. ඉන්දියාවට අවශ්‍ය විට සමාප්ත වුනි".

ඔවුන්ගේ එම අවශ්‍යතාවය වෙනුවෙන් ලක්‍ෂයකට අධික මිනිසුන් සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වුනි.  

70 දශකය නිමා වන විට ලංකාව ඉන්දියාවෙන් යම් පමණකට ස්වායත්ත ආර්ථික වර්ධනයක් කරා යොමුවී තිබුණි (එහි සමාජීය ගුණ දොස් වෙනමම සාකච්චා කල යුතුය). ඉන්දියාව එවන විට සෝවියට් කඳවුරේ හිතමිතුරෙකු වූ අතර පකිස්ථානය ඇමරිකන් කඳවුරේ විය. ලංකාව 70-77 කාලය තුල ගිය ගමන් මග අංශක 180 කින් කරකවා ඇමරිකන් ගැත්තකු බවට පත්වී තිබුණි. මේ වාතාවරණය ඉන්දියාවට අහිතකර වුවාට සැක නැත. ප්‍රතිපලය වුයේ මධ්‍යම රජයේ සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ පුර්ණ ආශිර්වාදය සහිතව දකුණු ඉන්දියාවේ LTTE පුහුණු කඳවුරු ඇතිවීමයි. මේ සඳහා ඉන්දියාවේ එවකට පැවති ප්‍රාන්ත දේශපාලන වාතාවරණයද හේතු සාධක වන්නට ඇත. 

අහඹු සිදුවීමක් නොවන 83 කළු ජූලිය පසුපස ඉන්දියානු හස්තය තිබූ බව එවකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්චා වූ කරුණකි.  හමුදා සෙබළුන් ඝාතනය කිරීම මෙන්ම ඉන්පසු ඇරඹි මෝඩ සිංහල අතලොස්සකගේ මංකොල්ලයද ඉතා මැනවින් සැලසුම් කල ක්‍රියාදාමයක් බවට සාක්ෂි එමට තිබුණි. 



ඉන්පසු එළඹී දශකයේදී ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තරමටම රටේ ගැටලුවලට මැදිහත් විය. ලංකාවේ ජනමාධ්‍ය වල රටේ ජනාධිපතිවරයාට නොදෙවෙනි තැනක් ජේ එන් ඩික්සිත්ලාට හිමි විය. ඉන්දියාවට අවශ්‍ය ආකාරයට යුද්ධය හා සාමය දෝලනය වන්න විය. රජයේ සහ LTTE නියෝජිත කණ්ඩායම් ඉන්දියාව  කියන කියන ආකාරයට සාම සාකච්චා සඳහා නව දිල්ලියට, තිම්පු නුවරට ආදී වශයෙන් චාරිකා කරන්න විය. 

මේ අවධියේ ලංකාවට යම් හෝ වාසියක් අත්පත් කර දුන් එකම ක්‍රියාවලිය ලෙස මා දකින්නේ ඉන්දු-ලංකා සාම ගිවිසුමයි. එහි අඩුපාඩු මෙන්ම එය අත්සන් කිරීම සඳහා එවකට සිටි ජනාධිපතිවරයා අනුගමනය කල ක්‍රියාමාර්ග වල පැහැදිලි දුර්වලතා තිබුනත් එය සිදු නොවන්න ලංකාවේ අනාගතය බොහෝ සෙයින් අභාග්‍ය සම්පන්න වන්නට තිබුණි. එහෙත් එහි තිබු බොහෝ වාසි ලංකාවට නෙලාගැනීමට තිබු අවස්ථාවන් එවකට සිටි රැඩිකල් දේශපාලකයන් අහුරා දැමීය. 

අන්තර් ජාතික දේශපාලනය කොතරම් සංකීර්ණ මෙන්ම තක්කඩි දැයි පෙන්වීමට හොඳම සාධකය අසූව දශකයේ ඊශ්‍රායලය ලංකාවේ ගැටළුවට සම්බන්ධ වූ ආකාරයයි. වික්ටර් ඔස්ත්‍රෝවුස්කි (Victor Ostrovsky) නම් මොසාඩ් නිලධාරියා ලංකාවට වැදගත් වන කරුණක් පසුකාලීනව හෙළිකරයි. මොසාඩ් සංවිධානය ඉන්දියාවේද අනුදැනුම පිට එකම කාලයක ඊශ්‍රායලයේ කන්තාරබද ප්‍රදේශයක ලංකා රජයේ හමුදා මෙන්ම LTTE සාමාජිකයන්ද  පුහුණු කර ඇත. මේ සඳහා එකිනෙකට නුදුරේ වූ කඳවුරු දෙකක් යොදාගෙන ඇත. රජයේ හමුදා පුහුණු කිරීම සඳහා මුදල් ලබා ගෙන ඇති අතර LTTE සාමාජිකයන්ගෙන් මුදල් මෙන්ම නොයෙකුත් සේවාවන් ලබා ගෙන ඇත. 

"මේ වඳුරන් අතට ආයුධ දී කාන්තාරය මැද එකිනෙකා මරා ගැනීමට ඉඩ දුන්නා නම් කොපමණ අහිංසක මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරාගන්න තිබුනා දැයි" කියමින් ඊශ්‍රායල් නිලධාරීන් විනෝද වූ බව ඔස්ත්‍රෝවුස්කි පවසයි.

ඉහත විහිළුව තුල ඇති කටුක යතාර්ථය ඔබට තේරුම් ගත හැකිද? ඔබගේ ලාංකික, සිංහල, බෞද්ධ යන ලේබල් ගලවා මේ දෙස බලන්න. පිටස්තරයන් පිරිසක් එකම රටක සහෝදර දෙපිරිසක් රිලවුන් මෙන් නටවමින් විනෝද වන අයුරු ඔබට පෙනෙනු ඇත. ඒ විනෝදය උදෙසා ධනය සහ ජීවිත කොතරම් නැති වුනාද? වරද කා අතද?  



90 දශකයේ මුල් වසර කිහිපය බොහෝ විචාරකයන් හඳුන්වන්නේ "මායිම් ප්‍රති-අර්ථ දැක්වූ යුගය (Era of redefining borders)" ලෙසයි. සෝවියට් දේශය දේශසීමා ගණනාවකට කැඩුනි. බටහිර සහ නැගෙනහිර ජර්මනි අතර තිබු දේශසීමාව මෙන්ම දකුණු අප්‍රිකානු සමාජයේ තිබූ ආපාතෙඩ් සිමාද වියැකුනි. ඉන්දියාව සහ ඇමරිකාව අතර මිතුදමක් ගොඩනැගුණු අතර පකිස්ථානය චීනය වෙත සමීප විය. ලංකාව දෙලොවක් අතර තනි විය. 

මා දකිනා ආකාරයට ඇමරිකාවට කිසිදාක ලංකාව පිළිබඳව විශේෂ උනන්දුවක් තිබුනේ නැත. ඔවුන්ට වැදගත් වන්නේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන්ද දැවැත්තයෙකු වන ඉන්දියාවයි. ඔවුන් ලංකාවේ කටයුතු වලට බලපෑමක් කරයි නම් ඒ බොහෝ විට ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව විය හැක. යුරෝපයට හෝ කැනඩාවටද ලංකාව එතරම් වැදගත් වන්නේ නැත. එම රටවල දේශපාලකයන්ට ලංකාවේ ප්‍රශ්ණය යම් තරමකට අදාළ වුයේ ඒ රටවල සිටිනා චන්ද බලය හිමි දෙමල ඩයස්පෝරාවේ සැලකිය යුතු ප්‍රමාණය නිසාය. අදටත් මෙම රටවල් පිළිබඳව පමණට වඩා විශාල භීතියක් ජනතාව අතර මවන්නේ වාර්ගික ප්‍රශ්නය හිගන්නාගේ තුවාලය කරගෙන රටේ සම්පත් සූරා කන තක්කඩි දේශපාලුවාය.   

නව සහශ්‍රකය ලබන විට LTTE සංවිධානය පිළිබඳව ඉන්දියාව තුලද තිබුනේ නොසතුටකි. ඔවුන්ගේ අගමැතිවරයෙකු LTTE හස්තය මගින්  ඝාතනය කර තිබුණි.  එමෙන්ම තමිල්නාඩුව සහ ලංකාවේ කොටසක් සමග ඊලාම් රාජ්‍ය ලෙස ඉන්දියාවේ කොටසක් කැඩී යාමේ ඉඩකඩක්ද ඇති බව ඔවුන්ට පෙනුනි. තමන් ඇරඹු ක්‍රියාවලිය තමන්ගේ පාලනයෙන් ඉවතට ඇදී ගොස් ඇති බව ඉන්දියාවට පැහැදිලි විය. ඉන්දියාවේ ගාන්ධි ආධිපත්‍ය බිඳ වැටී තිබුණු අතර 2007 වනවිට තමිල්නාඩු දේශපාලනයේද හැඩතල වෙනස් විය. 

ලංකාවේ යුද්ධය අවසන් කිරීමට තමන්ටද අවශ්‍ය බවට පණිවිඩය ඔවුන් ලංකා රජයට දන්වන්නේ මෙම කාලයේදීය. මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී බලයට පැමිණෙන විටත් ඉන්පසු ගතවූ වසරක පමණ කාලයේදීත් LTTE ය යුධමය වශයෙන් පරාජය කිරීමට ඔහුගේ අදහසක් නොවූ බව ඔහුගේ දේශපාලන සිරුරු බසින් (political body language) මනාව පැහැදිලි විය. එහෙත් ඉන්දීය රජයේ ඉඟියත් සමගම ඔහු ක්‍රියාත්මක වූ ආකාරය ප්‍රශංසනීය වේ. ඉන්පසු ගතවූ වසර දෙක තුල සිදුවූ කටයුතු බොහොමයක් ජනතාවට නොරහසකි. මහින්ද, ගෝඨාභය සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ධෛර්ය, ඥාන ශක්තිය මෙන්ම උපාය මාර්ගික ක්‍රියාන්විතයන්ද නොවන්න ඉන්දියාව මීට වඩා බොහෝ සෙයින් යුද්ධයට මැදිහත්වන්න ඉඩ තිබුණි. 



යුද්ධය අතරතුර ලංකාව පකිස්ථානයේ ආධාර ලබා ගැනීම සීමා කිරීමටත් ඒ අතරම යුද්ධය ජයග්‍රාහීව පවත්වගෙන යාම  සඳහා අවශ්‍ය අවම ආධාර පමණක් ලබා දීමටත් ඉන්දියාව වගබලා ගත්තේය. ඇමරිකාව මෙහිදී දැක්වූ නිද්‍රාශීලී ස්වභාවය ඉන්දියාවේ අවශ්‍යතාවය විය. සමහර විට ඇමරිකානු සමාගම් වලටද මෙම යුද්ධයෙහි සමාප්තිය තමාට වාසිදායක බව වැටහෙන්න ඇත. 

යුද්ධය නැවැත්වීම සහ ත්‍රස්තවාදී නායකයන් බේරා ගැනීම සඳහා යුරෝපීය රටවලින් යෙදුනා යයි කියන අති විශාල පීඩනය ගැන බොහෝ දෙනා කතා කරති. මෙම "අති විශාල" පීඩන කතාව බොහෝ සෙයින් ලංකාවේ දේශපාලකයන් තම වාසියට ගොඩ නගා ගත් සංඛල්පයක් බව පෙනේ. තම රටවල චන්ද කටයුතු වලදී වාසි ලබා ගැනීමට සමහර යුරෝපීය දේශපාලකයන් දෙමල ඩයස්පෝරාව වෙනුවෙන් යම් කර්තව්‍යයක් කරන බව පෙන්වීය. ඔවුන් එය අදත් කරයි. ඒ සඳහා ඔවුන් පුළුල් මාධ්‍ය ප්‍රචරයක්ද ලබා දෙයි. අපේ දේශපාලකයන් මේ බටහිරයන්ගේ අභිප්‍රායයන් ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහලින් මල්පල ගන්වා ඇත.  

යුද්ධයෙහි අවසන් කාල වකවානුවේදී ඉන්දියාවෙන්, ඇමරිකාවෙන් හෝ යුරෝපීය රටකින් බලඇණියක් පැමිණ බලහත්කාරයෙන් රටට ඇතුළු වුවා නම් කුමක් කළ හැකිව තිබුණේදැයි ඔබ අවංක උසස් හමුදා නිලධාරියකුගෙන් අසන්න. පිළිතුර අනිවාර්යයෙන්ම "මුකුත් නැහැ" යන්න බව මම සක් සුදක්සේ දනිමි. 

එසේ බලහත්කාරයෙන් ඇතුළු වුවා නම් ලෝක ප්‍රජාව ඊට එරෙහි වන බව සමහරුන් පවසනු ඇත. මෙය අතිශයින්ම හාස්‍යජනක ප්‍රකාශයකි. පකිස්ථානයේදී, ඇෆ්ඝනිස්ථානයේදී, සිරියාවේදී, ඉරාකයේදී, කුවේටයේදී මේ බටහිරයන් අමුඅමුවේ මානුෂීය අයිතිවාසිකම් කෲර ලෙස උල්ලංඝනය කරද්දී ඊට එරෙහිවුවෝ කවුද? 

වැඩිම වුනොත් රටවල් කිහිපයක් සිද්ධිය හෙලා දකින බවට ප්‍රකාශ නිකුත් කරනු ඇත. 

පශ්චාත් යුධ සමයේදී ඉන්දියාවේ ක්‍රියාන්විතය ඉතා සරල සහ පැහැදිලි අරමුණු කරා යොමුවී ඇති බව පෙනෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ලංකාවේ යුධ අපරාධ පිළිබඳව චෝදනා සකස්වන්නේ තනිකරම ඉන්දියාවට උවමනා ආකාරයෙන් බව සියළු රාජ්‍ය තාන්ත්‍රිකයන් මැනවින් දන්නා කරුණකි. ඉන්පසු විටෙක එම චෝදනා සම්බන්ධයෙන් මතුවන යෝජනා වලට සහයෝගය දෙමින්ද විටෙක විරුද්ධ වෙමින්ද ඔවුන් තමාට රිසි සේ නූල හසුරුවයි. 

ලොව පුරා බොහෝ ඌන සංවර්ධිත රටවල දුෂිත දේශපාලකයන් චීන මුදල් ඉදිරියේ නැවෙන බව ඉන්දියාවට පමණක් නොව මුළු ලොවටම විවෘත වූ රහසකි. කිසිඳු පක්ෂ බේදයකින් තොරව ලංකාවේ දේශපාලකයාද චීන සූත්තරයේ ඇමිණී ඇති බව සියළු දෙනා දනී. ඉන්දියාව මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මේ යථාර්ථය තේරුම් ගෙනය. 

ලංකාවේ අද සිදුවන බොහෝ දේශපාලනික වෙනස්කම් සඳහා පිඹුරුපත් සැකසෙන්නේ නව දිල්ලියේ හෝ බෙයිජිං නුවර බව ජනතාවට නම් තවමත් රහසකි. අපේ සියළුම දේශපාලකයන් මේ රංගනයේ නැට්ටුවන් පමණි. 





                         



Sunday 14 October 2018

මම මෙන්න මෙයා


මට මතක ඇති ආකාරයට ඒ මේ වසරේ මාර්තු මාසයේ දිනෙකි.  ඉංජිනේරු පීඨයට අයත් අවන්හලෙහි මම කෝපි කෝප්පයක් තොල ගාමින් සිටියෙමි. මා දුටු මගේ මැලේසියානු මුස්ලිම් සඟයෙක් මා වෙතට දිවගෙන ආවේය. තම අත වූ ස්මාර්ට් දුරකථනයෙහි ඒ වන විටත් ක්‍රියාත්මක කර තිබූ වීඩියෝ පටයක් ඔහු මට පෙන්විය. එය මැලේසියානු රුපවාහිනී චැනලයක ප්‍රවෘති ප්‍රකාශනයයි.

පෙරදින පැවති නුවර ප්‍රදේශයේ මුස්ලිම් මිනිසුන්ට පහර දීමේ සිදුවීම එහි පෙන්වමින් තිබුණි. ගල් පොලු මුගුරු රැගත් තරුණයන් පිරිසක් උන්මාදයෙන් මෙන් කඩ පෙළකට පහර දෙයි. තව රූප රාමුවක තරුණ පෙනුමැති හාමුදුරු නමක් රෞද්‍ර විලාශයෙන් පිරිසකට අණ දෙයි. 

"චන්දිම, ලංකාවේ  දරුණු මුස්ලිම් විරෝධයක් තියෙනවද? මුස්ලිම් අයට ලංකාවට යන එක අනතුරුදායකද?" ඔහු ඇසුවේ ඊට සති දෙකකට පමණ පසු IEEE ආයතනයේ ආරාධනයක් මත ඔහුට කොළඹදී දේශනයකට ආරාධනා ලැබී තිබූ නිසාය. 

මොහොතකට මම ගොළු වුනෙමි. සියුම් හිරියක් හිසේ සිට පාදාන්තය දක්වා ඇදී යයි. එය ඇතිවූ ලැජ්ජාව නිසාවෙනි. මේ රටේදී ඔවුන් මා වෙත දක්වන කරුණාව, දයාව, සහෝදරත්වය පිලිබඳ අදහස් එක දිගට මගේ සිතට ගලා එන්න විය. තත්පර කිහිපයකින් මම පියවි සිහියට පැමිණියෙමි.

"හරි හමන් අධ්‍යාපනයක් නොලැබූ, නූගත් තරුණයන් පිරිසක්. මේ මෝඩ පිරිස වැඩිම වුනොත් 200 ක් වෙයි" මම කීවෙමි. 

ටික වෙලාවක් පිළිසඳරේ යෙදී සිටි මගේ සඟයා නික්ම ගියේය.

මම ඉතා දීර්ඝ සිතිවිල්ලකට අවතීර්ණ වුනෙමි. 

"හරි හමන් අධ්‍යාපනයක් නොලැබූ, නූගත් තරුණයන් පිරිසක්". මගේ වදන් මම නැවතත් ආවර්ජනය කලෙමි. 



මගේ සිත වසර 32 ක් ඔබ්බට ඇදී යයි. එය 86 දෙසැම්බරය යයි සිතමි (මා වැරදි නම් මගේ සඟයෙක් නිවැරදි කරනු ඇත). නවක වද සමය යන්තමින් ඉවර වෙමින් තිබුණි. නවක සිසුන්වූ අපට පීඨයේ ජේෂ්ඨයන් තබා අපගේ වසරේම සමහර සඟයන් පවා වෙන්කර හඳුනා ගැනීම උගහටය. 

එදින උදෑසන 7.30 ට පමණ මම වෙනදා මෙන්ම තර්ස්ටන් පාරේ ගේට්ටුවෙන් විද්‍යා පීඨයට ඇතුල් වුනෙමි. වෙනදා නොමැති විශාල වෙනසක් පීඨය පුරා  දිස්විය. පොලු මුගුරු අතින් ගස් ජේෂ්ඨයන් විශාල පිරිසක් කලබලයෙන් එහා මෙහා ගමන් කරයි. 

මා සෙමින් සෙමින් විවෘත ආපන ශාලාව වෙත පිය නැගුවෙමි. එහි කනුවකට තබා බැඳ දැමු සිසුවෙකි. ඔහු කිහිප විටක්ම දෙහිවල බස් නැවතුම් පොලේදී මා සමග කතා කර ඇති නීති පීඨයේ ජේෂ්ඨ සිසුවකු බව මම අඳුර ගතිමි. ඔහු සාමාන්‍යයෙන් බොහොම සෙමින් කතා කරන සිනහමුසු පුද්ගලයෙකි. නමුත් එදින ඔහුගේ මුවින් පෙනුනේ ඉතා තැතිගත් පෙනුමකි. කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිව මම අන්ද මන්ද උනෙමි. 

උස මහත දේහයකින් හෙබි පුද්ගලයෙක් නුග ගස යට තිබූ කැඩිච්ච ගල් බංකුවක් උඩට නැග කතා කරන්න විය. මම ඔහුව හඳුනා ගතිමි. විද්‍යා පීඨයේ නිතර සැරිසැරුවත් ඔහු කලා පිඨයේ සිසුවෙකි. සිසුවෙක් කිව්වාට ඔහු අපට වඩා වසර 15 ක්  වත් වැඩිමල් ඇතැයි මට සිතෙයි. සමහර විට ඔහු වසර ගණනාවක් එකම වසරේ සිටින සිසුවෙකු විය හැක. 

දිනක් නවක වදය සඳහා ජේෂ්ඨ සිසුවෙක් (අද ඔහු ලංකාවේ සුපතල මහාචාර්යවරයෙකි) මට පොදු ශිෂ්‍ය කාමරයේදී (අපි එයට කිව්වේ කොමන් එක කියාය) මේසයක් මතට නැග එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට බණිමින් කතාවක් පවත්වන ලෙස අණ කළේය. කතා කිරීම මට කවදත් විනෝදජනක ක්‍රියාවකි. එබැවින් මා මේසය මතට නැග ඉතා උද්වේගකර කතාවක් කරමින් එවකට පැවති රජය විවේචනය කලෙමි. මෙය අවට සිටි සියළු දෙනාගේ අවධානයට පාත්‍ර විය. 

එම කතාවෙන් පසු මා බිමට බැස හතිලන විට අර උස මහත පුද්ගලයා මා වෙතට පැමිණ වතුර බෝතලයක් දිගු කළේය. ඉන් පසු පසෙක පිහිටි ආසනයක් වෙත මා රැගෙන ගිය ඔහු පවතින සමාජ විෂමතාවයන් සහ ශිෂ්‍යයන් ඊට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පිළිබඳව මට දීර්ඝ විස්තරයක් කළේය. එය විස්තරයකට වඩා අණ කිරීමකි. අවසානයේදී ඔහු පැවසුවේ ඔහු හමුදාවේ සේවය කර එයින් ඉවත් වූ අයෙකු බවයි.

නුග ගහ යට බංකුව මත සිටින උස මහත පුද්ගලයා ඉතා උස හඬින් කතා කරයි.

"අද ඉන්ඩෝ එන්නේ සයන්ස් ෆැකල්ටිය ඉවර කරලා දාන්න. උන් තමයි අපේ අරගලය පවා දෙන පරම හතුරෝ. මේ වෙලාවේ උන්ව නැති කලේ නැත්නම් උඹලා අපි ඔක්කොම ඉවරයි. උඹලාගේ මේ සටන ෆැකල්ටිය වෙනුවෙන් බව මතක තියා ගනිල්ලා". ඔහු කියාගෙන යයි. 

මම එවකට ජෝන් වේන්ගේ කව් බෝයි චිත්‍රපට බැලීමට ඇබ්බැහි වී සිටියෙමි. මේ නිසා උස මහත පුද්ගලයා ඉන්ඩෝ යනුවෙන් පවසන විට මට සිහියට ආවේ ඔළුවේ පිහාටු ගහගෙන අස්සයා පිට ගමන් කරන,  සුද්දන් මරන්නම ජිවත් වෙන (චිත්‍රපටය අපිට දෙන පණිවිඩය එයයි) රතු ඉන්දියානුවන්වය. චිත්‍රපටිය බලන විට මම සුද්දගේ පැත්තේය (චිත්‍රපටි බලන හැමෝම එහෙමය).



"උඹලා නිකන් ගුටි කන්නේ නැතුව අතට අහුවෙන ආයුධයක් අරන් ඉන්ඩන්ට නෙලපන්. මුකුත් නැත්නම් ගලක් හරි ගනින්" උස මහත පුද්ගලයා පවසයි. 

දැන් සැවොම ගල් පොලු සොයයි. මේ අතර මා වෙතට පැමිණි අපට වසරක් ජේෂ්ඨ සිසුවෙක් මගේ අතට ශල්‍ය කර්ම වලදී භාවිතා කරන මිට සහිත ඉතා මුවහත් තියුණු තලයක් (scalpel) දී "ඕනේ වුනොත් පාවිච්චි කරපන්" යයි කිවේය. අද මේ ජේෂ්ඨ අයියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහල නිලයක් දරයි. 

දැන් මම ජෝන් වේන්ට නොදෙවෙනිය. අඩුව ඇත්තේ අස්සයකු පමණි. සිසුන් සියල්ලෝම මහා හඬින් ගෝෂා කරමින් රීඩ් මාවතට මුහුණලා ඇති පිවිසුම දෙසට ඇදේ. 

"කොහොමද මචං අපි ඉන්ඩෝ අඳුන ගන්නේ" මා සමග ඉදිරියට යන මගේ වසරේ සඟයෙක් ගෙන් මම ඇසුවෙමි. ඔහුගේ අතේ දෙකේ දෙකේ පොල්ලකි. 

"අනේ මන්දා බං නෙලමු හතර අතට" මගේ මිතුරා පැවසුවේ අතේ තිබූ පොල්ලෙන් සතුරකුට ගහන ආකාරය අභිනය කරමිනි. ඔහුද කවුරුන් හෝ වීරයෙක් මනසෙහි ආරුඩ කරගෙන ඉන්න ඇත. 

රීඩ් මාවතෙන් එහා පැත්තේ තවත් මාර සෙනගකි. ඒ ඉන්ඩෝ ය. ඔවුන්ගේ හිසේ රාජාලි පිහාටු නැත. මා අවට සිටින පිරිසත් ඉන්ඩොත් අතර කිසිම වෙනසක් පෙනෙන්නට නැත. 

එක වරම රීඩ් මාවතට ඉහලින් ගඩොල් බාග පියඹා එන්න විය. මා අවට ගල් අතේ තියාගෙන සිටි පිරිස ප්‍රති පහර දෙන්න විය. මට තරමක් ඈතින් එහෙත් පෙනෙන මානයේ සිටි මගේ වසරේ සිසුවෙක් එක්වරම ඔළුව බදාගෙන පහත් විය. ඔහුගේ නම අනුර යැයි මට යාන්තමින් මතකය (වැරදි නම් නිවැරදි කරන්න). ඔහුගේ හිසෙන් ලේ ගලයි. ඒ සමගම අප ඉදිරියෙන් සිටි පිරිස අපවද තල්ලු කරගෙන පිටු පසට දුවන්න විය. අතේ තිබූ පිහි තලය කොහෙට විසි කලාදැයි මට මතක නැත. අපි නැවතත් විවෘත ආපන ශාලාව දෙසට දිව ගියෙමු. 

එදා මෙම නාටකය අවසන් වුයේ සරසවිය තුළට පොලිසිය ඇතුළු වී සිසුන්ට නිර්දය ලෙස බැටන් පහරින් සංග්‍රහ කිරීමෙන් අනතුරුවයි. බැටන් පොලු පහරක් වැදීමෙන් මගේ අත හොඳටම ඉදිමී තිබුණි. මගේ මව රිදවීමට නොහැකි බැවින් ගෙදර ගොස් මම මහා මුසාවාදයක් කිව්වෙමි; මම පැත්තකට වෙලා ඉන්න කොට ළමයි දුවගෙන ආව. ඒගොල්ලන්ව පොලිසියෙන් පැන්නුව. ළමයෙක් මගේ ඇඟේ වැදිලා මම ගල්  ගොඩක් උඩ ඇදගෙන වැටුණා ..... කතා ගොඩයි.

ඊට සති කිහිපයකට පසු අපේ නොදත් සතුරා වන ඉන්ඩන්ගේ නායක දයා පතිරණ ශිෂ්‍යයා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව සැලවිය. ඉන්ඩෝ යනු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ (independent Student Union) සාමාජිකයන්ය. ඔවුන්ට එරෙහි වුවෝ ජනතා විමුක්ති පෙරමුණට අයත් සාමාජිකයන් විය. ඉන් පසු ගතවූ වසර තුනක කාලය තුල සරසවි ශිෂ්‍යයෙකු යයි හැඳින්වීමද දැඩි ලෙස  අනතුරුදායක විය. නැවතත් සරසවි විවෘත කරන විට ඉන්ඩෝද, එදා සටන් මෙහෙය වූ ජවිපෙ සාමාජිකයෝද බොහෝ දෙනෙක් "අතුරුදන්වී" සිටියහ. අද ඔවුන් ගැන කිසිවෙකුටත් අංශු මාත්‍රයක් මතක නැත. 



මේ මහා දිග කතාව මට ලියන්න සිත් වුනේ අද ලංකාව පුරා දකින්නට හැකි ඍණාත්මක ප්‍රවනතාවයක් නිසාවෙනි. මගේ මැලේසියානු සඟයාට මා පවසා ඇත්තේ යථාර්තයක් දැයි මට ප්‍රශ්ණයක් ඇති වේ. තාරුණ්‍ය ප්‍රචණ්ඩත්වයට යොමුවීම සහ අධ්‍යාපන මට්ටම අතර සම්බන්ධයක් නැතැයි මට සිතේ. 

වරක් මට හමු වූ චීන රජයේ නිලධාරියෙක් බයිජු (ඉතා ඉහල මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති පානයක්) වීදුරු කිහිපයකින් පසු මෙසේ කීය.

"ඕනෑම පුද්ගලයකු ලවා ඔබට ඕනෑම දෙයක් කරගත හැක. අවශ්‍යවන්නේ ඔහුට අනන්‍යතා රාමුවක් තනා දීම පමණයි".

උපතින් ඔබට ඇත්තේ එකම එක අනන්‍යතාවයක් පමණකි. ඒ ගැහැණු හෝ පිරිමි බවයි. සමේ වර්ණයත් යම් පමණකට අනන්‍යතාවයක් ඔබට ලබා දෙයි. ඊට අමතරව ඔබට අනෙක් සියළුම අනන්‍යතාවයන් ලබා දෙන්නේ සමාජය විසිනි. කුලය, ආගම, ජාතිය, දේශපාලන පක්ෂය, ගුරු කුලය, සමාජ මට්ටම, ආර්ථික තලය ආදී ලේබල් ගණනාවක් සමාජය විසින් ඔබගේ ඇඟේ අලවයි. නොඑසේ නම් ඔබ ස්වේච්චාවෙන් අළවා ගනී. 

සමහර පිරිස් තමාට ඇලවූ ලේබල කිහිපයක් එකට අනා ඉතා කුඩා වපසරියක් සහිත කූඩුවකට බලෙන්ම කොටුවීම හාස්‍ය දනවයි. මීට වසර කිහිපයකට පෙර මැලේසියාවට පැමිණි ලාංකික කලාකරුවෙක් ඔහුව අනෙක් අයට හඳුන්වා දුන්නේ "මම උඩරට ගොවිගම සිංහල බෞද්ධයෙක්" කියාය. එය ඔහු උජාරුවෙන් පැවසුවත් එහි සිටි ලාංකික සම්භවයක් සහිත මැලේසියානුවන්ට ඔහු විකාරයක් විය. මේ සිද්ධියෙන් වසර කිහිපයකට පසුද එදා සිටි පිරිස නැවත එකතු වූ විට මේ කලාකරුවා විකට මාතෘකාවක් බවට පත්වෙයි. 

ඔබට ලේබලයක් වදින හැම විටම ඊට සමගාමිව සතුරෙකු බිහි වේ. එනම් එම ලේබලයට අයත් සමුහයෙන් පිටත සිටින්නන්ය. සතුරාගෙන් ඔබ සමුහය බේරා ගත යුතුය. ඒ නිසා ඔබ සතුරාට පහර දිය යුතුය. සමුහ නායකයන් වන ලේබලයේ අයිතිකරුවන් බේරා ගැනීම ලේබල්ධාරියාගේ පරම යුතු කමයි. 

ලංකාවට පැමිණි පෘතුගීසින් අතලොස්ස රටෙන් විශාල ප්‍රමාණයක් තනිව සටන් කර අල්ලා ගත්තා යයි ඔබ සිතනවද? ඔවුන් කලේ මුහුදුබඩ ජිවත් වූ ලාංකිකයන් කතෝලිකයන් ලෙස ලේබල් කිරීමයි. මෙහිදී කතෝලික දර්ශණය තුලින් එම සිංහලයාට හෝ දෙමළාට යහපතක් කිරීම පෘතුගීසීන්ගේ පරමාර්ථය වන්න ඇතැයි මම කිසිසේත් නොසිතමි. සිදුවුයේ මෙම ලාංකිකයන්ට කතෝලික ලේබලය අලවා ඔවුන්ගේ නව කුලකය රැක ගැනීම සඳහා ඔවුන්ගේම පරණ කුලකය (දැන් ඔවුන්ගේ සතුරන්) හා යුද්ධයට යැවීමයි.

ඉහත කතාවේ උස මහත පුද්ගලයා මේ සමුහකරණය සඳහා ගජ හපනෙක් යැයි මට සිතෙයි. සතුරන් හෝ මිතුරන් ගැන මෙලෝ හසරක් නොදත් අප ගල් පොලු අතට දී යුද්ධයට යැවීම සඳහා ඔහු ක්‍ෂණයකින් අපේ නළලේ ලේබලයක් ඇලවීය. ඒ ෆැකල්ටියයි. ඒ අතින් ඔහු පෘතුගීසි කාරයන්ටත් වඩා ඉදිරියෙනි.

අද සමාජය පුරා පිළිලයක් සේ පැතිරෙන්නේ අනාදිමත් කාලයක පටන් පැවතෙන මෙම කුලක හෝ සමූහ ලේබල් කිරීමයි. 

මා දකින ආකාරයට බොහෝ මුල් ආගමික නායකයින් සිදු කර ඇත්තේ අවට සමාජයෙන් සහ පරිසරයෙන් සිදුවන අතවරයන්ගෙන් තම පිරිස මුදවා ගැනීම සඳහා ඔවුන් ලේබල් ගත කිරීමයි. ඊට පසුව ශතවර්ෂ ගණනාවක් තුල බිහි වූ නායකයන් බොහෝ දෙනෙකු කර ඇත්තේ තමන්ගේ පැවැත්ම සඳහා ලේබලය අනුසාරයෙන් අනුගාමිකයා වහලෙකු කරගැනීමයි. 



"ඔබ වෙනුවෙන් ඔබ සටන් කරන්න". මෙය මහා දියාරු පාඨයකි. "අපි වෙනුවෙන් අපි" ව්‍යාපාරය සිංදු දෙකකට සිමා විය. 

"දෙවියන්වහන්සේ වෙනුවෙන් යුධ වදිව්"

"බුදුදහම බේරාගැනීමට සටන් කරව්"

"සමාජවාදය වෙනුවෙන් අරඟල කරව්"

"මාතෘභූමිය වෙනුවෙන් සතුරන් නසා දමව්"

මේවා ඉතා ආකර්ෂණීය සටන් පාඨය.

තම පැවැත්ම වෙනුවෙන් සමුහකරණය වීම මනුෂ්‍ය ස්වභාවයයි. එහි වරදක් මම නොදකිමි. එහෙත් අද ලෝකය වෙනස් වී ඇත. මීට ශතවර්ෂ කිහිපයකට පෙර සතුරු බලවේග වලට එරෙහිව කටයුතු කල ආකාරයට වඩා දැන් එය කලයුතු  තත්වය වෙනස්ය. 

දෙවියන්වහන්සේ වෙනුවෙන් යුධ වැදිය යුත්තේ ඔබ නම් ඔහුට සර්වබලධාරී යයි උපසර්ගයක් යෙදීම හාස්‍යජනකය. බුද්ධාගම බේරා ගැනීමට ඔබ සිතන විටම බුදු දහමේ හරය ඔබගෙන් ඈත් වී යයි. මන්ද එය පිළිපැදිය යුතු දර්ශනයක් මිස බේරා ගත යුතු භුතාර්ථයක් නොවන බැවිනි. 

එදා සිට අද දක්වාම ඔබේ නළලේ ලේබලයක් අලවා, අතට කඩුවක් දී ඔබව යුද්ධයට තල්ලු කලේ රජුන්ගේ, ආගමික නායකයන්ගේ, සාමාජීය නායකයන්ගේ පැවැත්ම උදෙසා බව ඔබ තේරුම් ගත් දින ඔබ වහල් බවෙන් නිදහස් වනු ඇත. 

ඔබට ආගමක් අවශ්‍ය අධ්‍යාත්මික සැනසීම උදෙසා බව ඔබ පිලිගන්නෙහිද? ආගමක් යනු හුදෙක් සංඛල්පයකි. එය ජීවමාන කරන්නේ ඒ මත යැපෙන පිරිසයි. යම් ආගමික සංඛල්පයක් තුලින් අධ්‍යාත්මික සැනසීම ලබා ගැනීමට නම් ඔබ එම ධර්මයෙහි හැසිරිය යුතුය. මේ සඳහා ඔබට සමූහකරණය වීමේ අවශ්‍යතාවයක් නැත (අවස්ථා කිහිපයකදී හැර). ඔබ ආගමික වත් පිළිවෙත් පුරණ විට, එයින් ඔබට සැනසීම ලැබෙන විට, ඔබ අවට සිටින්නන්ද එය කිරීමට හුරුවෙයි. එය ඊළඟ පරපුරටද සම්ප්‍රේෂණය වෙයි. ආගමක පැවතීම සිදුවන්නේ මෙසේය. 

සමුහකරණය වී ආගම රැකගැනීමට සටන් වැදීමේ අවශ්‍යතාවය පැන නැගෙන්නේ ආගමික නායකයන් සහ ඔවුන් මත යැපෙන දේශපාලුවන්ගේ වුවමනාව උදෙසාය. අද ලංකාව දෙස බැලුවොත් මෙය හොඳින් වැටහෙනු ඇත. ආගම කුමක්දැයි යන්නෙන් ස්වායත්තව පුජ්‍ය පක්ෂ නායකත්වය සහ දේශපාලුවන් සහජීවනයෙන් ක්‍රියා කරයි. ඒ ඔවුන්ගේ පැවැත්ම සහ සුඛ විහරණය වෙනුවෙනි. අවාසනාවන්ත කරුණ නම් මොවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මානසික වහලුන් බවට පත් වූ සාමාන්‍ය ජනතාව එකිනෙකා මරා ගැනීමයි. 

ආගම එක් ලේබලයක් පමණි. අද වන විට සමාජය, තමා පාවිච්චි කරන දන්තාලේපයේ සිට දහසකුත් කාරණා වෙනුවෙන් වෙන වෙනම සමුහකරණය වී ඇත. සමාජය, සමුහකරණයේ වාසි පසෙක තබා ලේබලය වෙනුවෙන් යුධ වැදීම මෙහි ඇති ඛේදනීය තත්වයයි. 

සමුහකරණ ක්‍රියාවලියේදී තාරුණ්‍ය පහසු ගොදුරක් වෙයි. මීට හේතු කිහිපයකි. එකක් මුහුකුරා නොගිය  සමාජය පිලිබඳ දැනුම සහ අත්දැකීම්ය. අනෙක් අතට තාරුණ්‍යයටම ආවේනික වූ  වීරයන් අනුගමනය කිරීම සහ තනි තනි වශයෙන් කටයුතු කිරීමට ඇති සමාජ භීතියයි. තම සමුහය සමග සිටින විට දඩබ්බර කුළු මීමුන් සේ හැසිරෙන බොහෝ තරුණයෝ තනිව සිටින විට කුලෑටි මීමින්නට නොදෙවෙනි වෙති. විද්‍යා පීඨයට පැමිණි උස මහත පුද්ගලයාගේ සිට අද වන විට කසා වතින් හෝ  සුදු වතින් සැරසුන පුජ්‍ය පක්‍ෂය දක්වා ආයුධය කරගන්නේ මෙම තාරුණ්‍යයේ හැසිරීම් ස්වභාවයයි. 

තාරුණ්‍යයේ මෙම හැඩතල වෙනස් කිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියකි. ඊට වඩා පහසු ක්‍රමය නම් වැඩිහිටියන් ලබා දෙන නායකත්ව දිශානතිය නිවැරදි කිරීමයි. සමුහකරණය යහ මගට ජනතාව යොමු කිරීම සඳහා යොදා ගැනීමට සමාජ නායකත්වයට බල කිරීම වැදගත්ය. එසේම සමුහ ලේබලය රැකගැනීම සඳහා සටන් කිරීම වෙනුවට සමුහය ඵලදායි ක්‍රියාවලියකට යොමු වනසේ ජන මනස සකස් කිරීම යමක් තේරුම් ගැනීමට තරම් මානසික වර්ධනයක් ඇති සියලු දෙනාගේ යුතුකමකි. 

මේ වන විට සමාජ ජාලා තුල වැඩි වශයෙන් පළවන්නේ ජන මනස දුගතියට යොමු කරන කාරණාය. හැකි නම් ඔබ ඉන් මිදී සමාජයට අර්ථවත් දේ පළ කිරීමටත් අනර්ථකාරී දේ ව්‍යාප්ත කිරීමෙන් වැළකීමටත් අධිෂ්ඨාන කරගන්න. අපට යහපත් සමාජයක් ලෙස ඉදිරියට ගමන් කල හැක්කේ එවිටයි. 



Saturday 6 October 2018

රටින් එන පැණිබීම නොබී ඉන්න හැකි නම්



ඒ වෙනස අදම .....

රට වෙනුවෙන් වෙනසක් විය යුතු බව අද බොහෝ දෙනෙකුගේ අදහසයි. ඒ වෙනස ඇත්තේ අප අතේ මිස දේශපලුවාගේ අතේ නොවන බව සිතට ගන්න. අප වෙනස් වන විට දේශපලුවාද ඉබේටම වෙනස් වෙයි. ඒ ඔහුද අපම නිසාය. 


අංක - 2: රටින් එන බීම නොබී ඉන්න හැකි නම්


ඒ 70 දශකයේ මැද භාගය යයි සිතමි. කුඩා කොලු ගැටයකු වූ මම දෙමව්පියන් සමග ළඟ ඥාතියෙකුගේ මල ගෙදරකට පැමිණ සිටියෙමි. නිවසට යාබදව අටවා තිබු කුඩාරමක් සෙවනේ සිටින අපට නෑදෑ වන මාමා කෙනෙකුගේ ගෝරනාඩුවක් ඇසුනි. 

"කව්ද මිනිහෝ කිව්වේ මේ කොත්තමල්ලි බීම උස්සන් එන්න කියල. ඒ මදිවට කේස් දෙකක් ගෙනල්ලා".

"අලියා බීම තිබුනේ නැහැ අංකල්. අපි ඒජන්ට් ලගටත් ගියා. ඔක්කොම තැන්වල එක බෝතලයක්වත් නැහැ" තරුණයන් දෙදෙනෙක් බයාදු ගතියෙන් තෙපලයි.

"එහෙම කියල කොහොමද බං මේ දහ ජරාව මිනිස්සුන්ට අල්ලන්නේ" මාමා බිඳුණු හඬින් කීය. 

මීට වසර 40ට පෙර ඒ ගෝරනාඩුව දැමූ මාමා නව සහශ්‍රයට පිය නොනගාම අප අතරින් වෙන්විය. එහෙත් එදා ඔහු අමුත්තන්ට සංග්‍රහ කිරීමට අතිශයින් පැකිළුණු කොත්තමල්ලි බීම අද මුළු මහත් ලංකාවම නොපැකිල කටේ හලා ගනී. ඒ කොකා කෝලාය. 

එදා බහුතරයක් ජනතාව අප්‍රිය කල මේ විදේශීය පානය මෙතරම් මහජනතාව අතර ප්‍රචලිත වුයේ කෙසේද? මේ සඳහා ව්‍යාපාරික විශ්ලේෂණයක් කල යුතුය. එහෙත් වැදගත් වන්නේ මේ විදේශීය පානයන්ගෙන් රටට සිදු වූ අහිතකර බලපෑම් පිලිබඳව සලකා බැලීමයි.

විදේශයන්ගෙන් ගෙන්වා මෙරටට හුරු කල පැණිබීම වර්ග ලංකාවට විදේශ විනිමය බිලියන ගණනින් අහිමි කළා පමණක් නොවේ. පැවති හා අළුතින් බිහිවීමට තිබූ දේශීය නිෂ්පාදන ගණනාවකට මග අහුරාලීය. ලාංකිකයා තුල තිබූ අභිමානය බිඳ පරදෙස් ගැති චින්තනයක් බිහි කිරීමෙහි ලා විශාල කාර්යභාරයක් ඉටුකළේය. තවමත් නිසි ලෙස අධ්‍යනය වී නොමැති දරුණු පරිසර හානියක් අදාළ ව්‍යාපාර පාදක කරගෙන සිදුවන බවටද වාර්තාවේ. එමතුද නොව, ලොව පුරා පළවූ නොයෙකුත් පත්‍රිකා සහ වෛද්‍ය වාර්තා අනුව මෙම බීම වර්ග මගින් සිරුරට කෙරෙනා අහිතකර බලපෑම් පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. මෙම පානයන් නිෂ්පාදනය කරන රටවල පවා ඒවා පරිභෝජනය පිළිබඳව ජනතාව තුලින්ම ප්‍රබල විරෝධයක් මතුවෙද්දී, අප වැනි නොදියුණු රටවල මෙම පානයන් සරුවට විකිනෙයි.

කොත්තමල්ලි ඩ්‍රින්ක් එකේ සිට lifestyle එකක් දක්වා පැමිණීමට මෙම විදේශීය පානයන්ට ගතවුයේ ඉතා සුළු කාලයකි. එසේ නම් අභිමානවත් ජාතියක් ලෙස එය ප්‍රතිවර්තනය කිරීමටද කෙටි කාලයක් තුලදී අපට හැකි විය යුතුය. 

අද සිට ඔබට හැකි නම් මෙම විදේශීය පැණිබීම පානය සම්පුර්ණයෙන්ම නතර කිරීමට එයම රට ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත. මේ සඳහා දැනට ඇති විකල්පය තැඹිලි සහ කුරුම්බාය. කුරුම්බා වතුර පැකට් හෝ බෝතල් කර විකිණීම මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, පිලිපීනය ආදී රටවල සරුවට කෙරෙයි. එහෙත් තැඹිලි එසේ ලබාගත හැකි අවස්ථා ඉතා විරලය. මන්ද තැඹිලි පිළිබඳව බොහෝ රටවල් දන්නේ වත් නැති නිසාය. එසේ නම් මේ අංශයෙන් අපිට ඉහලට ඒමට නොහැකිද? ඕනෑම රටක නිෂ්පාදනයක් බිහිවීම සඳහා දේශීය වෙළඳ පොළක් තිබිය යුතුය. එය සකසා දීම ඔබේ යුතුකම නොවේද? මේ වන විට ලංකාවේද තැඹිලි සහ කුරුම්බා බෝතල් කිරීමේ ව්‍යාපාරයක් තිබුනත්, විදේශීය පැණිබීම අලෙවිය හා සසඳන විට එය ඉතා කුඩා ව්‍යාපාරයකි. 

මීට අමතරව කහට වැඩි තේ වීදුරු භාගයකට දෙහි ස්වල්පයක්, සීනි හෝ මීපැණි කලවම් කර එය අයිස් වලින් පුරවා සාදන දෙහි-අයිස් තේ පානය ඉතා සුමිහිරිය. එය මැලේසියාවේ ප්‍රධාන පානයකි. දෙහි වෙනුවට ලංකාවේද ඉතා සරුවට වැවෙන පොකුරු නාරං ගෙඩියක් මිරිකා ගෙඩිය පිටින්ම දැමීම මැලේසියාවේ සිරිතයි. එය ලාංකිකයාට හුරු කිරීම අපහසු කටයුත්තක් යැයි ඔබ සිතනවාද?

කොකා කෝලා වෙනුවට සැබෑ කොත්තමල්ලි පානයක්, බෙලිමල් වතුර, රණවරා, ඉරමුසු මෙන්ම දෙහි-අයිස් තේ ආදී පැකට්/බෝතල් කල හැකි බීම වර්ග ගණනාවක් මගේ මතකයට පැමිණෙයි. මෙම ව්‍යාපාරය ලෝකයේ බොහෝ රටවල ඉතා ප්‍රචලිතය. 

මේ යෝජනාව තුලින්, ලංකාවේ මෙම විදෙස් බීම අසුරාලන ව්‍යාපාරය කඩා වැටෙනු ඇත. රැකියා ගණනාවක් තාවකාලිකව නැතිවනු ඇත. එහෙත් ඒ සමගම ගොඩනැගෙන දේශීය ව්‍යාපාර එම අඩුව සපුරා තවත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කරනු ඇත. රටට විදේශ විනිමය ඉපැයෙන අතරම මෙතෙක් අප රටින් එතෙරට ඇදී ගිය විදේශ විනිමය විශාල ප්‍රමානයක් රට තුල සුරැකෙනු ඇත.

මේ ඔබට රටේ දියුණුව සඳහා මෙන්ම ඔබේ යහපත් සෞඛ්‍යය සඳහාද පහසුවෙන්ම දායක විය හැකි අනගි අවස්ථාවකි. 









ආහාර බඩගින්නට මිස.......



ඒ වෙනස අදම .....

රට වෙනුවෙන් වෙනසක් විය යුතු බව අද බොහෝ දෙනෙකුගේ අදහසයි. ඒ වෙනස ඇත්තේ අප අතේ මිස දේශපලුවාගේ අතේ නොවන බව සිතට ගන්න. අප වෙනස් වන විට දේශපලුවාද ඉබේටම වෙනස් වෙයි. ඒ ඔහුද අපම නිසාය. 


අංක - 1: ආහාර බඩගින්නට මිස පන්ති ප්‍රදර්ශනයට නොවේ 


මීට දෙවරකට පමණ පෙර කල සංචාරයකදී මම රෝමයේ අවන්හලකට ගොඩ වුනෙමි. එහි සෑම මේසයක් මතම කරදාසි ඝනකයක් තබා තිබුණි. එම ඝනකයේ සිරස් පැති හතරේ අලංකාර කෑම බන්දේසියක රූපයකට යටින් වැකි දෙකක් ලියා ඇත. හතර පැත්තේම  වුයේ එකම අදහස භාෂා හතරකින් බව මට හැඟී ගියේය. ඉංග්‍රීසි බසින් තිබු වැකි දෙකෙහි සිංහල පරිවර්තනය ආසන්න වශයෙන් මෙසේය.

අප ලාබ ලබන්නේ සපයන ආහාර මත මිස ඔබගේ නාස්තිය මත නොවේ.
ඔබට අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ඇනවුම් කරන්න.

යුරෝපයට මෙය විශේෂයෙන් මතක් කර දිය යුතු පණිවිඩයක් නොවේ. එහෙත් අවට බලන විට මට මෙහි අවශ්‍යතාවය වැටහුණි. එහි සිටි බොහෝ දෙනෙක් විදේශිකයෝය. එම ප්‍රදේශය ලෝක ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයකි.

ලාංකිකයා අතර පවතින ආහාර නාස්තිය පිළිබඳව මම අත්දැකීමෙන්ම දන්නෙමි. මෙහිදී වඩාත්ම අවිචරශීලි ආහාර භාවිතය ඇත්තේ පහල මධ්‍යම පාන්තිකයන් තුල වීම ඛේදජනකය. විශේෂයෙන්ම බුෆේ ක්‍රමයට ආහාර සපයන උත්සවවලදී පිගාන ඉතිරෙන තරමට කෑම බෙදාගෙන ඉන් තුනෙන් දෙකක් අපතේ යවන උදවිය අප අනන්තවත් දැක ඇත. පිරිසක් සමග අවන්හලකට ගිය විටද තම පසුම්බියට ඉතා අධික පීඩනයක් දැනෙන සේ  සත්කාරකයා ආහාර පාන ඇනවුම් කිරීම නිතර දැකිය හැක. මෙය ආගන්තුක සත්කාරයකට වඩා තම ධනවත් බව ප්‍රදර්ශනය කිරීමක් බව නොරහසකි. 

මීට දශක දෙකකට පෙර මම මේ පිළිබඳව ප්‍රථම පාඩම ඉගෙන ගත්තේ මගේ ස්වීඩන් ජාතික මිතුරන්ගෙනි. වරක් අපේ අසල්වැසි යුවලකට රාත්‍රී භෝජනය සඳහා අපි ආරාධනා කළෙමු. සාමාන්‍යයෙන් ලංකාවේදී කරන්නාක් මෙන් අප ව්‍යංජන 5-6 ක් සමග බත් සහ පාන් වර්ග මේසය මත තබා තිබුණි. 

"කී දෙනෙක් අද මෙම සාදයට එනවාද?" අප මිතුරා විමසීය.

"මෙය සාදයක් නොවේ. ඔබ දෙපළට පමණයි අපි ආරාධනා කලේ" මම පැවසූ විට ඔවුහු නෙතින් නෙත බලා ගත්තෝය.  

ආහාර ගන්නා විට ඔවුන් සෑම ආහාරයකින්ම ඉතා ස්වල්පයක් පිගානට බෙදා ගෙන එහි රස බලයි. එයට ඔවුන් කැමති නම්, ඉන් පසු මදින් මද තරමක් විශාල ප්‍රමාණ වලින් බෙදාගෙන එය නිමා වූ පසු අවශ්‍ය නම් නැවත බෙදා ගනී. එලෙසම තමාට අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදා ගැනීමට ඔවුන් නොපැකිලෙයි. ඒ සඳහා කවුරුන් හෝ කියන තෙක් සිටීම ඔවුන්ගේ ක්‍රමය නොවේ. පෙරැත්ත කරමින් කෑම බෙදීම ඔවුන්ව තැති ගන්වයි. අපි වරක් මේ වරද කල අතර ඉන් පසු එයින් පාඩමක් ඉගෙන ගත්තෙමු. 

අප මොන තරම් පුරාජේරු කතා කීවත්, මේ රටේ අද රෑ කුසට අහරක් නොමැතිව නින්දට යන වැඩිහිටියන්, දරුවන්, රෝගීන්, ගර්බණි කාන්තාවන්, කිරිදෙන මව්වරුන් කී ලක්ෂයක් ඇත්දැයි ඔබ සිතනවාද. අප බත් මිටක් විසි කරන විට ඒ අපතේ යන්නේ බඩවල් කීයක් පුරවන්න තිබූ අවස්ථාවක් දැයි ඔබට සිතේ නම් නැවතත් ඔබ ඒ වරද නොකරනු ඇත. 

ඔබට අද සිට තම කුසට සරිලන අහර ප්‍රමාණයෙන් පමණක් සෑහී නාස්තිය අවම කරගත හැකි නම් ඔබ රට වෙනුවෙන් විශාල මෙහෙයක් කරන්නෙකු වනු ඇත. 





Tuesday 21 August 2018

පැන්නට පසු සිතා බලමු



මැලේසියාවේ නැගෙනහිර වෙරළට යාබද කෙලන්තාන් සහ තෙරෙන්ගානු පළාත් ලංකාවට බෙහෙවින් සමානකම් දක්වයි. කුඹුරු යායවල්, පොල් ගස්, සරම් ඇඳි මිනිසුන් මෙම ප්‍රදේශයේ ගමන් කරන ඔබව එකවරම ලංකාවේ ගම්බද පළාතකට රැගෙන යයි. ලංකාවටද බලපාන ගැටළුවක් මෙම ප්‍රදේශයේ උද්ගත වී ඇත. එනම් මෙම පරිසරයේ මූලික අංගයක් වන ප්‍රදේශය පුරා පිහිටි වැව් දියබෙරලිය (water hyacinth) ශාකයෙන් වසා ගැනීමයි. මෙය දැන් දශක කිහිපයක් පුරාම බලපාන ගැටළුවකි. මෑතකදී මෙම ජලාශ ආශ්‍රිතව ගොඩනගා තිබෙන ක්ෂුද්‍ර-ජල විදුලි බලාගාර (micro-hydro power stations) පවත්වාගෙන යාමද මේ නිසා අසීරු වී ඇත.

මෙයට දියහැකි විද්‍යාත්මක විසඳුමක් උදෙසා ගිය වසරේදී විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය විසින් යෝජනා කැඳවනු ලැබීය. මේ සඳහා මමද යෝජනාවක් ඉදිරිපත් කලෙමි. එහි වුයේ කෘතීම බුද්ධිය (AI) උපයෝගී කරගෙන දියබෙරලිය හඳුනා ගන්නා රොබෝ මාළුවෙකි. මෙය මම Hyacinth Swallowing Shark (HSS) නමින් හැඳින් වුයෙමි. HSS දියබෙරලිය ශාකය හෝ එහි කොටස් හඳුනා ගත් විට, එය එම ශාකය සම්පුර්ණයෙන්ම ගිලදමයි. මෙය නම්‍යශීලී නලයක (flexi-tube) ආධාරයෙන් එම  ගිලගත් ශාක කොටස් ගොඩ බිමට පොම්ප කරයි. එසේ පොම්ප කරන ශාක පොහොර හෝ බයෝ ඩීසල් සෑදීම සඳහා උපයෝගී කරගත හැක. සුර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන බැවින් HSS සඳහා විදුලි බිලක් නැත. 

මෙය වැවක පාකර දින දෙක තුනකින් විශාල වපසරියක ඇති දියබෙරලිය ඉවත් කරයි. වැවේ ධාරිතාවය සහ තිබෙන දියබෙරලිය ප්‍රමාණය මත HSS හි ප්‍රමාණය තීරණය කල හැක. තෙමසක් පමණ එය වැවේ පාවීමට සැලසු විට නැවතත් නොවැවෙන සේ එයින් දියබෙරලිය ඉවත් කල හැක. 

මගේ යෝජනාව වට තුනක් පසු කර අන්තිමේදී පර්යේෂණ අරමුදල් අනුමැතිය සඳහා යොමු විය. මෙම යෝජනාව ඇගැයීමට (evaluate) ලක් කලේ විද්‍යුත් ඉංජිනේරු තාක්‍ෂණික මඩුල්ලකි.

මුදල් සම්මත කිරීමට පෙර අමාත්‍යාංශය තවත් අගැයීම් කමිටුවක් පත් කළේය. ඒ මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් පිළිබඳව සොයා බැලීමටය. එය සමන්විත වුයේ පරිසරවේදීන්, ජලජ ශාක විද්‍යාඥයින් සහ එම ප්‍රදේශයේ වෙසෙන සමාජ සත්කාරක ප්‍රමුඛයින් කිහිප දෙනෙකුගෙනි. 

එම කමිටුවේ වාර්තාව පෙන්නුම් කලේ තරමක් සංකීර්ණ තත්වයකි. මෙම ප්‍රදේශ රැසක වැව්වල මිරිදිය මත්ස්‍ය වගාව සාර්ථකව කෙරෙයි. මීට දශක දෙකකට පමණ පෙර හඳුන්වා දී ඇති තිලාපි විශේෂයක් මෙම මත්ස්‍ය වගාවේ ප්‍රධාන අස්වැන්නකි. එම මත්සයාගේ බෝවීම සඳහා දියබෙරලිය ශාකයේ මුල විශාල කාර්ය භාරයක් ඉටු කරයි. කෙටි කලකින් සම්පුර්ණයෙන්ම දියබෙරලිය ඉවත් කිරීම විශාල පිරිසකගේ ජීවනෝපාය විනාශ කරනු ඇති බව කමිටු වාර්තාවේ සඳහන් විය.  

මේ නිසා රජය මගේ ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත කිරීම තාවකාලිකව නැවතීය. ඉන්පසු ඔවුන් මෙම මත්ස්‍ය අභිජනනය සම්බන්ධයෙන් ඇතිවන ගැටළුව විසඳීම සඳහා යෝජනා කැඳවීය.

දැනට පවතින්නේ මෙම වාතාවරණයයි. මගේ ව්‍යාපෘතිය කල් තැබීම පිළිබඳව මට කිසිඳු කණගාටුවක් නැත. ඒ වෙනුවට සිදුවන්න ගිය ප්‍රජා ව්‍යසනයක් වැලකීම පිළිබඳව මම අතිශයින් සතුටු වෙමි.

මට මේ පිළිබඳව ලියන්න සිතුනේ ලක් රජය සිදු කරන විලම්භීත ක්‍රියා අතර නවතම නිර්මාණය දුටු විටයි. ඔවුන් මගී ත්‍රිරෝද රථ සඳහා රියැදුරාගේ වයස 35 ක් ලෙස නීතියක් ගෙන ආවේය. මේ රජය පටන් ගත් දා සිටම කරන පරිදි ඔවුන් බලාත්මක කල නීතිය ක්‍රියාත්මක වන විට ඔවුන් අකුළා ගත්තේය. මෙහිදීද සිදුවන ප්‍රජා-ව්‍යසනය පිළිබඳව ඔවුන්ට තේරෙන්නේ නීතිය ප්‍රතිෂ්ඨාපනය කල පසුවයි.

ත්‍රීරෝද රථ නිසා මාර්ගයේ ගමන් කරන සහ රථ වාහන පදවන බොහෝ දෙනෙකුට දිනපතා සිදුවන ගැහැට පිළිබඳව කිසිඳු තර්කයක් නොමැත. එය නැවතිය යුතුය. ඒ අතරම ත්‍රීරෝද රථ පැදවීම රටේ විශාල රැකියා පදනමක් බව රජය පමණක් නොව කුඩා දරුවෙකුට පවා වැටහෙන යථාර්තයකි. එය එක රැයකින් විනාශ කරනවා යනු රට දැවැත්ත අර්බුදයක් කරා රැගෙන යන පියවරක් බව ඔවුන්ට ඉතා පහසුවෙන් වටහා ගත හැකිව තිබුණි. 

ත්‍රීරෝද රථ පමණක් නොව ලංකාවේ මාර්ග පද්ධතිය භාවිතා කරන වෙනත් වාහන සඳහාද අවධානය යොමු කිරීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී ඇත. වාහන ධාවනයේදී සිදුවන අනතුරු සහ අක්‍රමිකතා අවම කරගැනීමේ ක්‍රමවේදයන් සකස් කල යුත්තේ ඒ පිළිබඳව විශේෂ දැනුමක් ඇති විද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් විසිනි. ඔවුන්ටද එම ක්‍රියාමාර්ග යෝජනා කල හැක්කේ පුර්ණ පර්යේෂණ මාලාවකින් පසුවයි. සමහර විට වෙනත් රටක සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ලංකාවට නොගැලපිමට පුළුවන. 

මහා මාර්ග කළමනාකරණය සහ ප්‍රවාහන තාක්ෂණය (highway management and transport technology) පිළිබඳව ආචාර්ය හෝ ශාස්ත්‍රපති උපාධි සහිත ලාංකිකයන් කිහිපදෙනෙක් වත් රටේ සිටින බව මම විශ්වාස කරමි. ඔවුන්ගේ දැනුම ලබාගන්නේ නැතිව දේශපාලකයා සියළු දේ පිළිබඳව විශේෂඥයා වන්නට යෑම රටේ බොහෝ ව්‍යසනයන්ට හේතු පාදක වී ඇත.  

මේ ලිපිය සඳහා ලැබුණු පළමු ප්‍රතිචාරයට මා පළ කල අදහස සිංහලෙන් ලිවීමට සිත්වේ. එය ලියු මහත්මයා ඇසුවේ මෙම නීතිය ගෙන ඒමට මුල් වුයේ ත්‍රීරෝද රථ පැදවීමේ සේවාව නිසා සමාජයට අවශ්‍ය වෙනත් රැකියා කෙරෙන් තරුණයන් ඈත් වීම නැවතීමට නොවේද කියාය. එය සත්‍යයක් විය හැක. එහෙත් මගේ දැනුම අනුව නම් නිත්‍යානුකූල රැකියාවක් සඳහා පුද්ගලයන් යොමුවීම නැවතීමට නීති පැනවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. එබඳු තත්වයක් ඇත්නම් රජය කල යුත්තේ අනෙකුත් රැකියාවන් සඳහා ඇති ඉල්ලුම වැඩිවන ආකාරයෙන් වැඩපිළිවෙලක් දියත් කිරීමය. එසේත් නොමැති නම් ත්‍රීරෝද රථ සේවය සඳහා ඇති ඉල්ලුම අඩු වන පරිදි ක්ෂුද්‍ර-ප්‍රවාහන සේවා ජාතික මට්ටමින් ඇති කිරීමය. සමාජය යොමු වන්නේ වඩාත් ලාබදායි සේවා සඳහාය. එය සමාජයේ අයිතියයි.

රටේ සමස්තයටම බලපාන යම් තීරණයක් ගැනීමේදී රජයක් පළමුව ප්‍රමුඛත්වය දිය යුත්තේ මුලිකව තීරණය කල අරමුණු එම පියවර මගින් සාක්ෂාත් කරගත හැකිද යන්නටයි. ඉන් පසු එම පියවර ක්‍රියාත්මක කිරීමෙන් සිදුවිය හැකි අවශේෂ ප්‍රතිඵල පිළිබඳව ඇගැයීමක් කල යුතුය. මේ දෙකම නොමැතිව අපි දැන් දශක ගණනාවක් පිය නගන්නෙමු.

තවත් මේ පද්ධතිය තුලම ඉදිරියට පාවෙනවාද නැද්ද යන්න ලාංකික ඔබට බාරය. 




Monday 6 August 2018

වික්ටර් සර් (Sir Viktor)



1995 වසරේ ජූලි මාසයේ දිනක මම ස්වීඩනයට ගොඩ බැස්සෙමි. ඒ මගේ බිරිය සහ තෙමස් වයසැති පුතු සමගය (පසුව ඔහු ලොකු පුතා නොහොත් ලොක්කා විය). ඊට පසු දින මම පශ්චාත් උපාධියේ වැඩ කටයුතු ඇරඹීම සඳහා උප්සලා සරසවියේ අධි වෝල්ටීයතා පර්යේෂණ අංශය වෙත ගියෙමි. එකල මෙම ආයතනය පිහිටියේ නගරයෙන් පිටත ඉතා අඩු ජනගහනයක් විසූ හුස්බිබෝරි ප්‍රදේශයේය. එක් පසෙකින් නිතර වාහන ගමන් නොකරන මහා මාර්ගයකි. අනෙක් පසින් තිරිඟු වතු සහ ලඳු කැලෑවෙන් යුත් විශාල භූමි ප්‍රදේශයකි. මේ මායිම් අතර අක්කර ගණනාවක් පුරා පැතිරුණු බිම් කඩක් මධ්‍යයේ තිබූ සුවිසල් අධිවොල්ටියතා අංශ ගොඩනැගිල්ල පැරණි භූත මන්දිරයක් මෙන් දිස්විය. එය ප්‍රෞඩ අධ්‍යාපනික ඉතිහාසයක පිය සටහනක් බඳුය. 

මා ගොඩනැගිල්ලට ඇතුළු වී කලින් මට දැනුම් දී තිබුණු පරිදි තෝමස් හමු විය. ඔහු එවකට තරමක් මුඛරි, කඩවසම් ස්වීඩන් ජාතික තරුණයකු විය. ආයතනයේ අභ්‍යන්තර කටයුතු බාරව සිටි තෝමස් මුලික ගොඩනැගිල්ලෙන් එපිට පිහිටි තවත් ගොඩනැගිල්ලකට මාව රැගෙන ගියේය. ඒ සඳහා යායුතු වුයේ වසර 50 වත් පැරණි  පොළව යටින් වූ උමගකිනි. මීටර් 40ක් වත් දුර නැති මේ කොටසට යාමට පොලව හාරා උමගක් තනා ඇත්තේ කුමකටදැයි මම වික්ෂිප්ත වුයෙමි. තවත් මාස කිහිපයකින් මට එය වැටහුණි. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30 ක් පමණ වන ශිත ඍතුවේ ගොඩනැගිලි අතර ගමන් කිරීමට මෙම උණුසුම් උමග දිව්‍ය පථයක් විය. 

තෝමස් මට මගේ කාමරය පෙන්වීය. එදා පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස මට ලබා දුන් ඒ කුටිය, අද මහාචාර්යවරයෙකු ලෙස මට ලැබී ඇති නිල කාර්යාලය මෙන් හතර ගුණයක් පමණ විය.

"ඔබ පැමිණෙන තුරු වර්නන් බලා සිටිනවා" යැයි පැවසු තෝමස් විගසින් පිටව ගියේය.


මහාචාර්ය වර්නන් කුරේ මාගේ සුපවයිසර්වරයා විය. එවකට ඔහු ආයතනයේ උප ප්‍රධානියාය. මා ඔහුගේ කාර්යාලයට ගිය පසු ටික වෙලාවක් ආගිය තොරතුරු විමසු මහාචාර්ය වර්නන් "චන්දිම අපි මුලින්ම රිවීව් පේපර් එකක් ලියමු නේද" යැයි ඇසීය. මම එකවරම "හා ලියමු" කියා කීවෙමි. 

එහෙත් මට ඔහු කී දෙය තේරුණේ නැත. ඔහු අදහස් කර තිබුනේ සමාලෝචන පත්‍රිකාවක් (review paper) පිලිබඳවය. එවකට මට පේපර් එකක් යනු එක්කෝ උදෑසන පළවන ප්‍රවෘති හෝ චිත්‍රකතා පත්‍රයකි නොඑසේ නම් විභාග ප්‍රශ්න පත්‍රයකි. මගේ වික්ෂිප්තභාවය ඉව වැටුණු මහාචාර්ය වර්නන් පත්‍රිකාව සහ එහි මාතෘකාව පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ඉන් පසු පුස්තකාලයට ගොස් අදාළ ප්‍රකාශිත පත්‍රිකා අධ්‍යනය කරන ලෙස පැවසීය. 

කිහිප දෙනෙකුගෙන් අසා ගෙන මම ආයතනයේ පුස්තකාලය වෙත ගියෙමි. එයද ප්‍රධාන ගොඩනැගිල්ලේ පසෙක විය. මෙය ඔබ හැරී පොටර් චිත්‍රපටි වල දකින පුස්තකාලයකට වඩා වැඩිපුර වෙනස් නොවීය. අඩි දොළහක් පමණ උසට වූ පොත් රාක්ක වල සම් බැඳුම යෙදු පොත් සහ සඟරා එක පෙලට අසුරා ඇත. සුවිසල් පුස්තකාලය තුල සිටියේ තව එක පුද්ගලයෙකු පමණි. ඔහු ආරෝහ පරිණාහ දේහධාරී තරමක වියපත් සුදු මහතෙකි. ඔහු මේසයක් මත වූ යමක් දෙස නෙත් යොමාගෙන සිටියේය. බැලූ බැල්මට ඔහු පුස්තකාල සේවකයෙකු වන්න ඇතැයි මම සිතුවෙමි.  

මහාචාර්ය වර්නන් පැවසු සඟරා තිබුණේ අර පුද්ගලයා සිටි ස්ථානය ආසන්නයේ ඉහලම රාක්ක වලය. ඒවා සඟරා දහය බැගින් සම් බැම්මෙන් බැඳ අසුරා තිබුණි. මේවා ගැනීම මට ප්‍රෙහෙලිකාවක් විය. 

"කරුණාකර මට කියන්න පුලුවන්ද මේ සඟරා ගන්නා ආකාරය" මම අර පුද්ගලයාගෙන් ඇසුවෙමි. 

"අන්න අතන තියෙනවා ඉනිමගක්. එය රැගෙන විත් තමයි ඔබට ඒවා ගන්න වෙන්නේ" ඔහු ඉතා ශාන්ත ස්වරයෙන් ඈත කොනක ඇති ඉනිමගක් පෙන්වීය. 

"බොහෝම ස්තුතියි" කියමින් මා එදෙසට යන විට "ඔබට උදව්වක් අවශ්‍යද" කියා ඔහු ඇසීය.

එබන්දක් අවශ්‍ය නොවන බව ඔහුට කාරුණිකව පැවසූ මම ඉනිමග වෙත ගොස් එය රැගෙන ආවෙමි. 

දැන් මා ඉනිමගට නැග සඟරා තොරයි. අර තැනැත්තා මා දෙස බලා සිටියි. සඟරා ගොනු කිහිපයක් තෝරා ගත් මා ඔබට මේවා අල්ලා ගත හැකිදැයි පහල සිටින මිතුරාගෙන් ඇසුවෙමි.  

"ඔව් එවන්න" ඔහු පැවසීය. මා පහලට දැමු සඟරා ගොනු එකින් එක ඔහු සුරැකිව අල්ලා මේසය මත ගොඩ ගැසීය. 

සඟරා ගොනු හයක් පමණ පහලට එවීමෙන් පසු මම ඉනිමගෙන් බැස්සෙමි. ඉන්පසු ඉනිමග නැවතත් ගෙන ආ තැනින් තබා නව මිතුරාට ස්තුති කර මගේ කාමරයට සඟරා ගොන්න ඔසවාගෙන ගියෙමි.  

එදින දිවා ආහාරයෙන් පසුව මා ප්‍රධාන ගොඩනැගිල්ලට පැමිණෙන අතර මට තෝමස් හමු විය. 

"ඔබට මේ වෙලාවේ ආයත ප්‍රධානියා හමුවිය හැකියි. සාමාන්‍යයෙන් ආයතනයට මුලින්ම පැමිණෙන සියලු දෙනා ඔහුව මුණ ගැසී තමාව හඳුන්වා දෙනවා". තෝමස් මට උපදෙසක් දුන්නේය.

තෝමස්ගේ මගපෙන්වීම අනුව මම ආයතන ප්‍රධානියාගේ කාර්යාලය සොයාගෙන ගියෙමි. ඕක් ලීයෙන් (පසුව මා දැනගත් පරිදි) තැනු විශාල දොරක 'මහාචාර්ය වික්ටර් ෂූකා" යනුවෙන් රත්‍රං පැහැ අකුරින් සටහන් කර ඇත. මා දොරට තට්ටු කල විට  පහත් එහෙත් ගාම්බීර හඬින්  "ඇතුලට එන්න" යනුවෙන් ඇතුලෙන් ඇසුනි. මා දොර ඇරගෙන ඇතුලට ගියෙමි. එය බටහිර සිනමා පටයක අප දැක ඇති වික්ටෝරියා යුගයේ ආදිපාදවරයෙකුගේ කාර්යාලයක් වැනි සුවිසල් කාමරයකි. එහි මධ්‍යයේ විශාල ලී මේසයක් පිටුපස අගනා සම් නිමාවෙන් යුතු විසල් විධායක අසුනක් අරා සිටින්නේ මගේ පොත් අල්ලා ගත් සඟයාය.


"ඇවිත් වාඩිවන්න" අන්දමන්දව සිටි මා හට මහාචාර්ය වික්ටර් ෂූකා විධානය කළහ. 

"ඔබ ගෝමස් විය යුතුයි". 

මා 2009 දී ඔහුව අවසන් වතාවට මුණ ගැසෙන තුරුම ඔහු මට කතා කලේ ගෝමස් කියාය. චන්දිම කියනවාට වඩා පෘතුගීසි ගෝමස් යන නම ඔහුට පහසුවෙන් උච්චාරණය කල හැකි වුවා විය හැක.

"ඔව් සර්" එවන විටත් අන්ද මන්ද බව පහව ගොස් නොසිටි මම පිළිතුරු දුනිමි. 

මහාචාර්ය ෂූකාගේ මුහුණ රතු විය.

"කවදද මිනිහෝ මට නයිට් පදවිය ලැබුනේ?" ඔහු ගුගුලේය.

මට මගේ දෑස් නිලංකාර වනු දැනුනි. මොනවා කියන්නද මොනවා කරන්නද කියා සිතා ගත නොහැකිව මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. 

මුවඟට සිනහවක් නගා ගත් මහාචාර්ය ෂූකා නැවතත් ඉතා ශාන්ත ස්වරයෙන් කතා කරන්න විය.

"මම දන්නවා ඔබේ රටවල මෙම සර් ආමන්ත්‍රණය තිබෙන බව. එහෙත් ඔබ දැන් සිටින්නේ ස්වීඩනයේ. මෙහි සර්ලා තබා මහත්ම මහත්මියන් වත් නැහැ සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්නේ නමින් පමණයි". 

එදා පටන් ඔහු මට වික්ටර් විය. අද දක්වාම මගේ සුපවයිසර් වරයා මට වර්නන්ය. එතන සිටි හැමෝම බෙන්ජමින්, උල්ෆ්, රෝල්ෆ්, මර්කුස්, ගුනේලා, සබ්‍රිනා විය. බෙන්ජමින් මහත්මයා හෝ සබ්‍රිනා මහත්මිය අප අතර නොසිටියේය. 

වසන්ත සමයේ අග භාගයේ සිට සරත් සමයේ මුල් භාගය වනතෙක් ආයතනයේ සියලු දෙනා සැමදාම උදෑසන තේ පානය (කෝපි පානය කිවහොත් වඩා නිවැරදිය) සඳහා එළිමහනේ රැස් වෙයි. එක පෙලට පිහිටවූ මේස වටේට පුටු තබාගෙන අපි හිරු එළියෙන් නැහැවෙමින් කෝපි කෝප්ප තොලගාමු. ආයතනයේ අතුගෑම සහ වැසිකිලි පිළියෙළ කිරීමට පැමිණෙන ලීනා කෝපි සාදයට එක් වන්නේ තරමක් ප්‍රමාදවය. ඇය සැමදාම "හායි වික්ටර්" කියා වික්ටර් ෂූකාගේ පිටට පහරක් ගසමින් කෝපි කෝප්පය සමග ඇගේ අසුනට යයි. 

අප සියළු දෙනා තුල එකිනෙකා කෙරෙහි ඉතා තද ගෞරවයක් විය. වික්ටර්, වර්නන්, රජීව් වැනි ආචාර්ය මහාචාර්ය වරුන් කෙරේ අප තුල තිබුණේ ඉතා ඉහල ගුරු බැතියකි.  එය අදද අප තුල එලෙසම පවතී. වික්ටර් 2010 දී මෙලොවින් සමු ගත්තේය. වර්නන් සහ රජීව් සමග මම තවමත් පර්යේෂණ සහයෝගිතා පවත්වමි. ඔවුන් අපගේ ගුරු දේවයෝය. 

අපි ඉගෙනගන්නා සමයේ අපේ සිසුන් "කොහොමද සර්" කියා දෙකට නැමුණු, අපට වද පීඩන දුන් ගුරුවරු පිළිබඳව මට සිහිවෙයි. ඔවුන් දර්ශන පථයෙන් ඉවත් වූ සැනින් සිසුන් ඔවුන් හැදින්වුයේ ඉතා පහත් කවට නාම වලිනි. ඔවුන් කෙරේ කිසිදු ගෞරවයක් හෝ පැහැදීමක් කිසිවෙක් තුල නොවීය. 

මට අදටත් සිතෙන්නේ "සර්" යනු වහල් යුගයෙන් බින්නවී විත් තවමත් අප අතර පවතින විකටරූපී නෂ්ටාවශේෂයක් බවයි.