Follow this Blog

Sunday, 4 June 2017

මුළු ලොවම මායාවක්ද?



“ඔබ මා දකින්නේ කොතනද?” සුප්‍රකට ඉන්දීය යෝගිවරයෙක් වන සද්ගුරු තම ප්‍රේක්ෂකයන්ගෙන් අසයි. මුළු ප්‍රේක්ෂකාගාරයම සද්ගුරු සිටින දෙසට සිය අතැඟිලි දිගු කරයි.


“ඔබ සියලු දෙනාම වැරදියි” සද්ගුරු සිනාසෙමින් පවසයි.


“අප දන්නා සරළ භෞතික විද්‍යාවට අනුව මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබගේ අක්‍ෂි කාචයෙන් වර්තනය වී දෘෂ්ටිවිතානයේ ප්‍රතිබිම්බයක් සාදනවා. ඔබට මාව පෙනෙන්නේ එතැන නොවේද?” ඔහු අසයි. ඔහුගේ අරමුණ අප සියලු දෙනාම ලෝකය දකින්නේ තමන් තුලින් බව ඒත්තු ගැන්වීමට ය.



බොහෝ විදේශීය සරසවිවල පර්යේෂණ ක්‍රමවේදය (research methodology) පශ්චාත් උපාධිධාරීන්ට අනිවාර්ය විෂයයකි. අවාසනාවකට මෙන් වාර්තා වෙන තොරතුරුවලට අනුව ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයක මෙම විෂයය උගන්වන්නේ නැත. පර්යේෂණ ව්‍යාපෘතිවලට යොමුවන සිසුන් ඒ සඳහා තාක්‍ෂණිකව මෙන්ම මානසිකව ද සුදානම් කිරීමට මෙම පාඨමාලාව මහෝපකරි වේ.
මැලේසියාවේ පුත්‍රා සරසවියේ මෙම විෂයය ඉගැන්වීම අපූරු අත්දැකීමකි. ඒ, එම විෂයය සඳහා සහභාගී වන සිසුන්ගේ පුළුල් පරාසය නිසා ය. ඔවුන් ආගම, ජාතිය, දේශය, වයස ආදී පෞද්ගලික පරාමිතිවලින් විශාල වපසරියක් පුරා පැතිර ඇත. සිසුන්ගෙන් වැඩි පිරිසක් තම ඇදහීම් රටාව හේතුවෙන් සිය සිතීමේ නිදහසට ස්වයං විලංගු දමාගෙන ඇති බව බොහෝ විට දක්නට ලැබේ. මේ තත්වයෙන් ඔවුන් තාවකාලිකව හෝ ඉවත්කර නිදහස් චින්තනයේ අලංකාරය රස විඳීමට සලස්වා දීම අපගේ යුතුකම ය. මේ සඳහා අපි සද්ගුරුගේ ක්‍රියාකාරකමෙන් පටන් ගනිමු.

ඔබ ලෝකයම දකින්නේ තම දෘෂ්ටිවිතානයේ සෑදෙන ප්‍රතිබිම්බයක් මගින් නම් ඇත්තටම ඔබට කිසිවක් දැකීමට එම දෙය සැබවින්ම ඔබ ඉදිරියේ තිබීමට අවශ්‍ය නැත. මේ වන විටත් භාවිතයේ තිබෙන උපැස් යුවලක් ලෙස පැළඳිය හැකි අත්‍ය යථාර්තික (virtual reality) උපකරණය මගින් ඔබට මේ අත්දැකීම විඳිය හැක.
අපි තව මදක් ගැඹුරට යමු. ඔබගේ ගුරුවරයා ඔබ ඉදිරියේ සිටගෙන සිටිනවා යැයි සිතන්න. දැන් ඔබගේ දෘෂ්ටිවිතානයේ සෑදෙන ප්‍රතිබිම්බය ඔහු ම යැයි ඔබගේ මනස හඳුනා ගන්නේ කෙසේ ද?
ඉතා සරළව ඉහත පැනයට දිය හැකි පිළිතුර මෙසේ ය. දෘෂ්ටිවිතානයේ සෑදෙන ප්‍රතිබිම්බයේ ආලෝක පැතිරුමට අනුරූපව ඊට සම්බන්ධ දෘෂ්ටි ස්නායු අග විද්‍යුත් සංඥාවක් (electrical signal) ඇති වේ. මෙය ප්‍රකාශගුණකයේ (photomultiplier) ක්‍රියාවලියට සමාන වේ. මෙම විද්‍යුත් සංඥාව ප්‍රතිබිම්බය හඳුනාගැනීමට අදාළ තොරතුරු මොළයේ යම් කොටසක් වෙතට ගෙනයයි. බොහෝ දෙනෙකුට පරිඝනකයේ ක්‍රියාකාරිත්වය දෙස බැලීමෙන් මෙය වටහා ගත හැක.
විද්‍යුත් සංඥා ආකාරයෙන් මොළය වෙතට පැමිණෙන තොරතුරු එහිදී සංකීර්ණ සැකසුමකට ලක් වේ.  මෙහිදී අදාළ ප්‍රතිබිම්බය ඔබගේ මතක පද්ධතියේ (memory system) ඇති තොරතුරු සමග සසඳනු ලැබේ. ගුරුවරයා ඔබ නිතරම දකින කෙනෙක් නම් ඔහුගේ තොරතුරු මතක පද්ධතියේ ඉහළ ම ස්ථරවල පවතී. එබැවින් ඉතා ඉක්මනින් සැසඳීමේ ක්‍රියාවලිය අවසන් වේ. 

ඔබ ගුරුවරයා දකින්නේ වසර 10 ට පමණ පසුව නම් කාරණා දෙකක් නිසා ඔබට ඔහුව පහසුවෙන් හඳුනාගත නොහැකි වනු ඇත. පළමු කාරණය නම් කාලයත් සමග ගුරුවරයා පිළිබඳව තොරතුරු මතක පද්ධතියේ පහළ ස්ථරවලට තල්ලු වී තිබීමයි. එවිට එම තොරතුරු සොයා ගැනීමට මොලයේ සැකසුම් ඒකකයට (processing unit) වැඩි කාලයක් ගත වේ. දෙවැන්න, දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් ගුරුවරයාගේ හැඩරුව වෙනස් වී තිබීමට ඉඩකඩ වැඩි වීමයි. මේ නිසා ගුරුවරයාගේ ප්‍රතිබිම්බයෙන් එන විද්‍යුත් සංඥාව ඔහු පිළිබඳව මතකයේ ඇති තොරතුරු හා නොගැලපීමට ඉඩ ඇත.


දැන් අපි මෙලෙස සිතමු. යම් උපක්‍රමයක් මගින් දෘෂ්ටි ස්නායු කෙලවර ගුරුවරයාගේ ප්‍රතිබිම්බයට අදාළ විද්‍යුත් සංඥාව සෑදිය හැකි යැයි සිතන්න. මෙය විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන උපකරණයක් මගින් සිදුකිරීමට හැකියාව තිබෙනු ඇත. දැන් ඔබට දෑස නොපෙනුණත් ගුරුවරයාව පෙනේ. ඉහත විද්‍යුත් සංඥාව මොළයේ අදාළ ස්ථානයේ ස්ථානගත කළ හැකි වේ නම් ඔබට දෘෂ්ටි ස්නායු නැතිව වුව ද ගුරුවරයාව දැකිය හැක.

දැන් ඔබට සිතෙන්නේ නැද්ද මේ ලෝකයේ අපි දකින සියලු දෙයම කිසිවෙකු හෝ කිසියම් බලවේගයක් විසින් අපගේ දෘෂ්ටි විතානයේ ඇති කරන ප්‍රතිබිම්බ හෝ ස්නායු පද්ධතියේ ඇති කරන විද්‍යුත් සංඥා නිසා අපේ මනස දකින මායාවන් බව?
එසේ නම් අප දකින බොහෝ දෙය ස්පර්ශ කිරීමට, එහි ගඳ-සුවද හෝ රස බැලීමට, ශබ්ද ඇසීමට අපට හැකිවන්නේ කෙසේ දැයි ඉහත පැනයට පිළිතුරු දෙන සිසු සිසුවියෝ අසති.
ඔබ සියලු දෙනාම අමතක කරන කරුණක් නම් ඉහත සඳහන් සියලුම සංවේදකවලට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන්නේ ඇසේ සිදුවන ක්‍රියාකාරිත්වයට සමානව බව ය. උදාහරණයක් ලෙස ගුරුවරයාගේ අතක් අල්ලන විට එය අත ලෙස හැඟෙන්නේ ඔබේ සමේ ඇති ස්නායු ගුරුවරයගේ අතේ ඇති දෘඩතාවය පිළිබඳව තොරතුරු ඔබගේ මොළයට සපයනු ලබන බැවිනි. ගුරුවරයාගේ අත ඔබ අල්ලන විට ඇතිවන මේ විද්‍යුත් සංඥා ඉබේටම ඇති වුවහොත් හෝ යමෙකු විසින් ඇති කරයි නම් ඔබට ඔහුගේ අත එතන නො තිබුණත් අත අල්ලනවා යන හැඟීම ඇති වේ.
ඉහත කාරණා හුදු මතවාදයකින් ඔබ්බට ගෙනයෑමට දැන් පර්යේෂණ කණ්ඩායම් කිහිපයක් යුහුසුළු වෙමින් පවතී. නුදුරු අනාගතයේ දී ම ඔබට දෑස වසා ගෙන චිත්‍රපට, දේශණ මෙන්ම ප්‍රවෘති නැරඹීමේ ද අවස්ථාව උදාවනු ඇත. එපමණක් නොව, ලිංගික අවශ්‍යතා සපුරාගැනීමට, ඉතා ප්‍රණීත ආහාර වේලක් රස විඳීමට, ඉතා සුගන්ධවත් මල් උයනක පියනැගීමට හෝ කර්ණ රසායන සංගීතයක් විඳ ගැනීමට ඔබට අවශ්‍යවන්නේ එක් විද්‍යුත් චුම්බක උපකරණයක් ක්‍රියාත්මක කිරීම පමණකි. ඉන්පසු ඔබට දෑස පියාගෙන සැතපී සියළු රස විඳිය හැක.

සිත තිගැස්සෙන විට දකින හොල්මන්, අවතාර, භූත, ප්‍රේත රූප ලෙස අප හඳුන්වන රූපාකාර බොහෝ විට අප‍ගේ මොළයේම යම් කොටස් මගින් ඇති කරන විද්‍යුත් සංඥා විය හැක. එලෙසම ඉතා සන්සුන්ව, ශ්‍රද්ධාවෙන් යුතුව සිටින විට හෝ භාවනා කරන විට සමහරු දකින බව කියන දෙව්, බඹ, සුරඟන රූපකායන් ද මෙලෙසම මොළය විසින් එළිදක්වන විද්‍යුත් උත්පාදන විය හැක.
දැන් නැවතත් අපි මුල් කාරණයට ප්‍රවිෂ්ඨ වෙමු. ඔබ දකින ලොව සැබෑවටම පවතිනවා දැයි පැනයක් මතුවන්නේ නැද්ද?
අපි සැබවින්ම අතරමං වන ස්ථානයට පැමිණෙන්නේ මෙතන දී ය. මුළු ලොවම මායාවක් නම් අප කතා කරන දෘෂ්ටිවිතාන, ස්නායු, මොළය, මතක පද්ධති ආදී මගේය කියන සියලු දෙයම ද මායාවන් වන්නේ ය.
අවසානයේදී “මම”ද මායාවකි.
- This article was published in Rivira Newspaper on 28-05-2017

8 comments:

  1. මුළුමහත් විශ්වයම ඇත්තේ මේ ශරිරය තුලමය. _ගෞතම බුදුරජාණන් වහන්සේ
    ජයවේවා..!!

    ReplyDelete
  2. At least your dream has more dimensions and colours than mine... enjoy it while you are here aiya!!!

    ReplyDelete
  3. //බොහෝ විදේශීය සරසවිවල පර්යේෂණ ක්‍රමවේදය (research methodology) පශ්චාත් උපාධිධාරීන්ට අනිවාර්ය විෂයයකි. අවාසනාවකට මෙන් වාර්තා වෙන තොරතුරුවලට අනුව ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයක මෙම විෂයය උගන්වන්නේ නැත.// රුහුණු විශ්ව විද්‍යාලයේ අවසන් වසරේදී අප මෙම විෂය හැදෑරුවෙමු.

    ReplyDelete
    Replies
    1. Great to hear about that. However, this is a postgraduate course which is hardly taught at UG level. I am really interested to have a look at the syllabus.
      Anyway thanks for for the info.

      Delete
    2. subject eka nam tibuna.eth wadiya deyak nam kale na.ucsc(Colombo uni)

      Delete
  4. Sri Palee Campus of the University of Colombo used to have Research Methodology as a subject in the BA in Mass Media (Special) course. I do not know whether they still have it in their syllabi.

    ReplyDelete