Sunday 12 November 2017

නලීන් ද සිල්වා අපේ ඇසින්...



මීට මාස කිහිපයකට පෙර, දුරු රටකදී, සරසවියේ අපට වඩා වසර කිහිපයක් පහල කණ්ඩායම සිටි මිතුරෙකු හමුවිය. අප හා එකට ඉගෙන ගත් බොහෝ දෙනෙකු දිගු කලකට පසු හමු වුනත් අපගේ කතිකාවත එක අවස්ථාවකදී අනිවාර්යයෙන්ම යම් පොදු මාතෘකාවකට පිවිසෙයි.

"ඔබ ඩොක්ටර් නලීන් ගැන අද දවසේ සිතන්නේ කෙලෙසද?" ඔහු ඉංග්‍රීසි බසින් මගෙන් ඇසීය. 

"He is one of the rare characters that I have met with 50 shades of grey" මා දුන් පිළිතුර ඉංග්‍රීසි බසින්ම ලිව්වේ එය අර්ථාන්විත වන්නේ එවිට පමණක් නිසාය. මන්ද ඒ නමින් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයක් ටික කලකට පෙර තිරගත වීම නිසාය.

පෞද්ගලිකව මා මහාචාර්ය නලීන් ද සිල්වා දකින්නේ සුදු පැහැයේ සිට කළු පැහැය තෙක් වූ සියළුම අළු වර්ණයන්ගේ සංකලනයක් ලෙසටයි. ඊට හේතු පාදක වන කාරණා බොහෝ ඇත.

අදටත් අප බොහෝ දෙනෙකුට ඔහු ඩොක්ටර් නලීන්ය. ඒ අපට උගන්වන කාලයේ හෙතෙම ආචාර්යවරයෙකු වීමයි. ඔහු මහාචාර්ය පදවියෙන් පිදුම් ලබන විට අප පළමු උපාධිය නිමවා තිබුණ බව යාන්තමට මතකය. අපගේ මිත්‍ර සමාජයේදී ඔහු අපට "මහ නලියා" විය. මන්ද අපේ රැහේ තවත් නලීන් ද සිල්වා කෙනෙක් සිටි බැවිනි. ඒ පසු කලෙක කොළඹ සරසවියේ රසායන විද්‍යා මහාචාර්යධූරයට පත් වූ (දැන් SLINTEC ආයතනයේ සේවය කරන) නලීන් ද සිල්වාය. අපට වසරක් ඉහල කණ්ඩායමේ සිටි ඔහු "බටු නලියා" විය. ඒ ඔහු එතරම් උස් මහත් නොවූ බැවිනි.

එය 1987 වසරේ ජනවාරි මාසය වන්නට ඇතැයි මම සිතමි. බ්‍රහස්පතින්දා දින පස්වරු 1-2 අතර ව්‍යවහාරික ගණිතය දේශනයට මා පිය නැගුවේ අලස ආකාරයෙනි. ඊට පෙර දවස් කිහිපයේ පැවති දේශන කිසිවක මෙලෝ දෙයක් නොතේරුණු අතර දේශනය අරඹා විනාඩි 10ක් යද්දී මගේ ඇස් දෙක පියවෙන්න පටන් ගනියි.

ආචාර්ය නලීන් ද සිල්වා නැමති දේශකයෙක් පැමිණ සිය කතාව ඇරඹීය. එතැන් සිට 2010 වසරේ ජනවාරියේදී මා කොළඹ සරසවියේ ආචාර්ය පදවියෙන් සමුගන්නා තෙක්, මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්නයන් හැරුණු කොට මට හමු වූ දක්ෂතම ගුරුවරයා ඔහුය. දේශනය පවතින පැයක කාලයෙන් ඔහු ව්‍යවහාරික ගණිතය උගැන්වූයේ හරියටම විනාඩි විස්සකි. ඉතිරිය ඔහු විෂයට කිසිසේත්ම අදාළ නොවන කරුණු කීමටත් තමාට රිසි සේ අන්‍යයන්ට පහර දීමටත් යොදාගත්තේය. එහෙත් විෂය ඉගෙන ගන්නා අයෙකුට මේ විනාඩි විස්සේ පාඩම හොඳටම ඇතිය. වෙනත් බොහෝ දේශකයන් පැයම කතා කලත් ශිෂ්‍යයාගේ ඔලුවට යන්නේ විනාඩි 5 ක කරුණුය. 

මේ දේශනය කෙතරම් සිත්ගත්තා දැයි කිවහොත් මම ඊට පසු සතියේ සිටම බදාදා කෑම පැයේදී NBLT ශාලාවේ පැවැත්වෙන ගවේෂකයෝ දේශනයට සහභාගී උනෙමි. එය පවත්වන්නේ ආචාර්ය නලීන් විසිනි. එවකට ගවේෂකයෝ සංගමයේ සභාපති (මට මතක ඇති ආකාරයට) වුයේ ගෙවිඳු කුමාරතුංගය. ඔහුගේ ආරාධනයෙන් මා ගවේෂකයෝ සංගමයේ සාමාජිකත්වය ලැබූ අතර එහි කමිටු නිලධාරියෙකු ලෙසද පත් වූ බවක් යන්තමින් මතකය. මේ වන විට මා ආචාර්ය නලින්ද සිල්වාගේ හොඳ ගෝලයෙකු විය. ගවේෂකයෝ කණ්ඩායම සමග අනුරාධපුර යුගයේ වැව් පොකුණු පිළිබඳව ගවේෂණයක් කිරීමටද මම ඉදිරිපත් වී සිටියෙමි. 

ආචාර්ය නලීන් ද සිල්වා ජාතික චින්තනය පිළිබඳව පලකරන අදහස් කෙතරම් මගේ සිත් ගත්තත් ඔහු එය ඉදිරිපත් කරන ආකාරයත්, දේශන අතරතුර ඔහු සමහර සිසුන්ව සමච්චලයට සහ අපහසුතාවයට ලක් කරන ආකාරයත් ආචාර්යවරයෙකුට නොගැළපෙන බව මට දිනෙන් දිනම පෙනී යන්න විය. විශේෂයෙන්ම අප අතර සිටි අන්‍යාගමික (බෞද්ධ නොවන) සිසු සිසුවියන් ඔහුගේ නිර්දය ප්‍රහාරයන්ට ඉලක්ක විය. අපගේ වසරේම ඉගෙනුම ලැබූ සුනිල් සහෝදරතුමා (ඔහු කිතුණු  පූජකතුමෙකි) ආචාර්ය නලීන්ගේ නිරන්තර ගොදුරක් විය. මේ නිසා ක්‍රමයෙන් මට ආචාර්ය නලීන් පිළිබඳව තිබූ සුභවාදී ආකල්ප හීන වන්නට විය. 

මේ අතර දේශන ශාලාවෙන් පිටතද යම් පරිවර්තනයක් සිදුවෙමින් තිබුණි. ආචාර්ය නලීන්ගේ පසු පස යන ගෝල බාලයන් පිරිසක් නිර්මාණය වෙමින් පැවතුනි. ඔවුන්ගෙන් කී දෙනෙක් තම ආචාර්යවරයාගේ දර්ශනය තේරුම් ගෙන තිබුණාදැයි මම නොදනිමි. එහෙත් ඔවුන්ට ඒකරාශී වන්නට "නලීන් සහ ජාතික චින්තනය" හොඳ වේදිකාවක් විය. ආචාර්ය නලීන් දේශන ශාලාව තුල යම් සිසුවෙකු වෙත ප්‍රහාරයක් එල්ල කල විට මෙම ගෝල බාල පිරිස එය දේශන ශාලාවෙන් පිටත ප්‍රතිරූපණය කරන්නට විය. මෙය මගේ දැඩි කලකිරීමට හේතු වුවත් ගුරුවරයෙකු ලෙස ආචාර්ය නලීන් වෙත තිබු ඇල්ම නම් අඩු නොවීය.

මේ අතර එක් දිනක් ව්‍යවහාර ගණිතය දේශනය අතරතුර ආචාර්ය නලීන් අමනුෂ්‍ය බලවේග පිළිබඳව කතා කිරීමට පටන් ගත්තේය. 

"තමුසේ මොකද හොල්මන් අවතාර ගැන හිතන්නේ" ඔහු මා දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇසීය. 

"ඕවා මහා පිස්සු මනස්ගාත සර්" මම කිසිවක් නොසිතාම උත්තර දුනිමි.

තරමක රෞද්‍ර මුහුණක් මවා ගත් ඔහු "තමුසේ කොහොමද එහෙම කියන්නේ" යැයි ඇසීය.

මට කිසිවක් සිතා ගත නොහැකි විය. එහෙත් එක වරම ඊට ටික කලකට පෙර අපේ ගෙදර ඇතිවූ කතා බහක් මතකයට ආවෙන් මම මෙසේ කියන්න පටන් ගතිමි. "ඇයි සර්, කාලෝ ෆොන්සේකයි, කොවුර් මහත්තයයි ඕපන් චැලේන්ජ් එකක් කලේ...." මට කිව හැකි වුයේ එපමණකි.

"ආ තමුසේ, තමුසේ තමයි එහෙනම් මේ බැච් එකේ ඉන්න හේතුවාදී ඒජන්තයා. තමුසෙගෙයි කාලෝ ෆොන්සේකගෙයි ඔළුගෙඩි දෙක අල්ලලා බිත්තියේ හප්පනවා, මේක ඇතුලේ ඔය හේතුවාදී උලව් අටවන්න ආවොත්". ඇස් ගෙඩි උලුප්පන් දත් මිටි කමින් ඔහු මහා හඬින් ගුගුලේය. 

අන්ද මන්ද වූ මා කිසිවක් කියා ගත නොහැකිව බලා සිටියදී ඔහු විනාඩි පහක් පමණ එක දිගටම බැන වැදුනේය. ඔහු කතාව අවසන් කලේ මගේ දෙසට ඇඟිල්ල දිගු කර "ඔළු දෙකේ බූරුවා" යයි කියමිනි. එතැන් පටන් මම සරසවියේ සිසුවෙකුව සිටි මුළු කාලය තුලම ආචාර්ය නලින් ද සිල්වාගේ නිරන්තර අපහාස, උපහාස, ගර්ජනා වලට ලක් වුයෙමි.

එදා එම දේශන ශාලාවෙන් පිටතට පැමිණෙන විට මා ලේබල් කිහිපයකට පාත්‍ර වී සිටියේය. ගෝල බාලයන්ට ආචාර්ය නලීන්ගේ හේතුවාදී ලේබලය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොවිය. ඒ වෙනුවට ඔවුන් මුද්‍රණය කර තිබුනේ වෙනත් නාමකරණ කිහිපයකි. CID කාරයා, සිරිකොතෙන් පඩිගන්නා ඒජන්තයා, ආණ්ඩුවේ ඔත්තුකාරයා මින් කිහිපයකි. 

එවන විට මා සිරිකොත යනු කුමක්දැයි දැන සිටියේද නැත. "මොකක්ද මචං සිරිකොත කියන්නේ?" මා මිත්‍ර උපුල් ප්‍රනාන්දුගෙන් ඇසුවා තවම මතකය. ඇත්තෙන්ම එකල මට මේ ලේබල යම් ආශ්වාදයක් ගෙන දුනි. සමහරුන් මා සමග කතා කරන්නත් බිය ගතියක් දැක්වීම මට බෙහෙවින් විනෝදජනක විය. එහෙත් ඒ ලේබල් වල ඇති බියකරු බව තේරුම් ගැනීමට මට වැඩි කලක් නොගියේය. එජාප-ජවිපෙ භිෂණය රට වෙලාගත්තේය. වසර තුනකට සරසවි වැසී ගියේය.  

ආචාර්ය නලීන් ද සිල්වා නිකම්ම නිකම් ගුරුවරයෙකු නොවෙයි. ඔහු පවුරු බිඳින්නෙකි. විද්‍යා විෂය උගෙන සරසවියට පිවිසෙන බොහෝ දෙනෙක් තමා වටා විශාල පවුරක් බැඳගෙන පැමිණෙන්නේය. ඒ පවුර තුල සිටින්නේ බටහිර විද්‍යාවේ වහලෙකි. ඒ වහලා බටහිර විද්‍යාව ගැනද කිසිවක් නොදනී. පළමු වසර මැද භාගය වන විට බොහෝ දෙනෙකුගේ මේ ස්වයං-සිර කුටිය නලින් ද සිල්වා කඩා බිඳ දමයි. මේ සමගම ඈත ක්‍ෂිතිජය දක්වා සිසුවාගේ නිම් වළලු පුළුල් වේ. මෙය ඉතා ආශ්වාදජනක අත්දැකීමකි. එහෙත් ඔහුගේ බොහෝ ගෝල බාලයෝ නලීන් කඩා දැමූ බටහිර-විද්‍යා පවුර වෙනුවට නලීන්ගෙන්ම ගල් වැලි සිමෙන්ති ඉල්ලා ගෙන ජාතික චින්තන පවුර බැඳ ගත්තෝය. මෙය අවාසනාවන්ත තත්වයකි.

නලීන් ද සිල්වා නැමැති ගුරුවරයා තුල තිබෙන දක්ෂතා සහ ව්‍යක්තභාවය අංශු මාත්‍රයකින්වත් නලීන් ද සිල්වා නමැති දාර්ශනිකයා තුල නොතිබීම ශෝචනීය වෙයි. කොපමණ රස කෑමක් වුවද, යමෙකු ඔබගේ උගුරට බලහත්කාරයෙන් ඔබා එය කුසට පිවිසෙන තුරු කොසු මිටකින් අනී නම් සිදුවන්නේ මහත් විනාසයකි. නලීන් ද සිල්වා මේ බව තේරුම් නොගනී. එසේම තමාගේ තරාතිරම, තමා ගැටෙන පුද්ගලයාගේ තරාතිරම මෙන්ම තමන් ගැටෙනා කාරණාවෙහි ඇති වැදගත්කම වැනි කරුණු ඔහු නොසලකයි. හොල්මන් අවතාර වැනි නොවටිනා මාතෘකාවක් වෙනුවෙන් තමා වැනි උගත් ආචාර්යවරයෙක් පළමු වසර සිසුවෙකු හා ගැටී ඔහුට අවලාද නැගීම කෙතරම් නිෂ්පල ක්‍රියාවක්දැයි ඔහු නොදකියි. මෙය මම නලින්ද සිල්වා නමැති චරිතය පුරාවටම දුටුවෙමි. 

ආචාර්ය නලීන් ද සිල්වා කුමන ප්‍රහාරයන් එල්ල කලත් ඔහුට උපහාස වන අයුරින්වත් වචනයක් නොකීමට අපගේ සහ අපට ඉහල කණ්ඩායම්වල සිසු සිසුවියන් වග බලාගත්තේය. ඒ ඔහුට තිබු යම් ගෞරවයක් හේතුවෙනි. එහෙත් අපට පහල වසරේ සිසුවෙකු හා නලීන් අතර වූ සංවාදයකින් පසු මේ අයිස් කන්ද බිඳී ගියේය.

ඒ ගවේෂකයෝ මෙහෙයවන බදාදා කෑම පැයේ නලීන්ගේ දේශනයයි. ඔහු එවකට සිටි වාමාංශික නායකයන් නිර්දය ලෙස විවේචනය කරමින් සිටියේය. 

"මේ වමේ නායකයෝ කියාගන්නා එවුන් එදා ඉඳන්ම වැඩ කලේ වල් බූරුවන් වගේ" ඒ නලීන් ද සිල්වාය.    

අතුරු සිදුරු නැතිව පිරී තිබූ NBLT ශාලාවේ මැද හරියෙන්, අත ඔසවා සිසුවෙක් නැගී සිටියේය. උස, කාල වර්ණ දේහධාරී මේ සිසුවාගේ හැඩරුව සහ වාග් විලාශය මට ඉතා හොඳින් මතක මුත් ඔහුගේ නම මතක නැත (මතක අයෙක් ලියා දක්වන්න).

"ඉතින් සර්රුත් ඒ කාලේ හිටියේ ඒ ගොඩේ නේ" ඔහු කිසිඳු කලබලයක් නොමැතිව නිදිමත හඬින් කිව්වේය.

"ඔව් ඒක ඇත්ත. මාත් අවුරුදු 15කට කලින් හිටියේ එවුන් එක්ක තමයි. මම ඒක නැහැ කිව්වේ නැහැනේ" නලීන් ගුගුලේය.

"එතකොට සර් කියන්නේ මීට අවුරුදු 15ට කලින් සර්රුත් වැඩ කලේ වල් බූරුවෙක් වගේද?"

නලීන් තරමක් තිගස්සෙනු මට තාම මතකය. ටික වෙලාවක් සිසුවා දෙස බලා සිටි ඔහු "ඔව් එතකොට මාත් වැඩ කලේ වල් බූරුවෙක් වගේ තමයි" කියා මද හඬින් කිවේය.

තවමත් නිදිමත ගතියෙන්ම කතා කරන සිසුවා "එතකොට සර් තව අවුරුදු 15 කින් කිව්වොත් දැන් සර් වැඩ කරන්නේ වල් බූරුවෙක් වගේ කියලා සර්ගේ ගෝල බාලයන්ට වෙන්නේ මොකක්ද?"

චින්තන-අචින්තන වෙනසක් නොමැතිව මුළු මහත් ශාලාවම මහා හඬින් සිනාසෙන්න විය. මෙය යුගයක නිමාවක් සනිටුහන් කළේය.

ඉන්පසු ගත වූ වසර දෙක තුනේදී බොහෝ දේ සිදුවිය. ආචාර්ය නලීන් ද සිල්වා තම ගෝලයන් හරහා ක්‍රියාත්මක කල ක්‍රමවේදයන්ට එරෙහිව විද්‍යා පීඨයේ සිසු විරෝධය පෙළ ගැහෙන්න විය. මේ සටන්වලට සම්බන්ධ නොවී පසෙකට වී සිටි මා ඇතුළු මගේ මිතුරු පිරිසට පිඨයේ ශිෂ්‍ය නිලවරණය පැමිණෙන විට තව දුරටත් නිහඬව සිටිය නොහැකිවිය. ලේඛම් තනතුර සඳහා තරඟ කල මම එම සටනේ ප්‍රධාන කථිකයෙකු වූයෙමි. එතෙක් විද්‍යා පිඨයේ පාලනය කිසිඳු අභියෝගයකින් තොරව තමා වෙත නතු කරගෙන සිටි නලීන් ද සිල්වාට පක්ෂපාති කණ්ඩායම හමුවේ අපි ඉතා අඩු චන්ද පරතරයකින් පරාජය වූයෙමු. එය ජයග්‍රහණයේ ඇරඹුම විය (කාගේ ජයග්‍රහණයේ දැයි මට තවමත් නොතේරෙයි). ඊළඟ වසරේ මම කෙටි කලකට නලීන් විරෝධී පාර්ශවයේ නායකයා වුනෙමි. එවර චන්දය පැමිණෙන විට අපගේ දක්ෂ කථිකයන් කිහිප දෙනෙකුම අධ්‍යාපන කටයුතු වල සිරවී සිටියේය. එබැවින් එවර චන්දය ඉල්ලීමෙන් වැලකී සිටීමට අප තීරණය කල අතර නායකත්වයෙන් මම ඉවත් වුනෙමි. ඊළඟ අවුරුද්දේ නලීන් විරෝධී පිල ජයග්‍රහණය කළේය. ඉන්පසු ගතවූ දශක තුන තුල නලීන්වාදී පිරිසට එක වරක් හෝ චන්දය දිනා ගැනීමට නොහැකි වූ බව මගේ දැනීමයි. 

ඊට පසු කාලයක එවකට උප කුලපතිව සිටි ජී එල් පීරිස් මහතාට පහත් වදනින් බැනවැදීම නිසා ආචාර්ය නලින්ද සිල්වා සරසවියෙන් නෙරපූ බව ආරංචි විය. එතැන් සිට පැවති රජයන්හි ජී එල් පීරිස් මහතා ඇමති මණ්ඩලයේ සිටින තාක් කල් නලීන් ද සිල්වා හට රැකියාව නොලැබෙන බවට කතාවක් පතුරුනි. මේ කතාව නිසා මම අවංකවම බලවත් සේ කනගාටුවට පත් වුනෙමි.   

මා තරම් ආචාර්ය නලීන්ද සිල්වාගෙන් බැට කෑ මෙන්ම ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ පීඨය දෙවනත් කල සිසුවෙක් තව සිටියා දැයි මම නොදනිමි. එහෙත් එතුමා  ඉගැන්වූ විෂය දෙකටම මට ඉතා ඉහල සාමර්ථ තිබුණි. ඒ අතින් කොළඹ සරසවියේ බෝ පැල මෙන් සිටි සමහර උපාසක මහාචාර්යවරුන්ට සාපේක්ෂව මහාචාර්ය නලින්ද සිල්වා යනු සැබෑ මහත්මයෙකි. 

මගේ අවංක මතය නම් නලීන් ද සිල්වා යනු අපතේ ගිය සම්පතක් බවයි. ස්වයං-අලෙවි (self-marketing) හැකියාවෙන් ඉතා දුර්වලවීමත්, සමහර අවස්ථාවල තමන්ට තමන් අවංක නොවීමත් මා ඔහුගේ දකින පැහැදිලි දුර්වලතාවයන්ය.

තමාගේ අදහස් නිර්මාණශීලි ආකාරයෙන් අන්‍යන්ට ඒත්තු ගැන්වීමට ඔහු අසමත්විය. තමා පමණක් හැමවිටම නිවැරදිය යන අධි-මානය ඔහුගේ ගමන ව්‍යාකූල කෙරීය. ඔහුගේ මතයට එරෙහිව යමෙක් අදහස් දක්වන විට ඔහුට සඟවා ගත නොහැකි කෝපයක් ඇති වන්නේද මේ නිසා විය හැක.

එසේම තමා සම්මතයෙහි පිහිටා කටයුතු කිරීම ඔහුගෙන් අතපසු විය. තම දරුවන් ගේ පාසල සහ ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු, තමාගේ ගෝල බාලයන්ගේ පවා ජිවිත අවදානමෙහි වූ තීරණාත්මක අවස්තාවක තමා සප්ත වාර්ෂික නිවාඩුව සඳහා තෝරා ගත් රට, මෙන්ම තවත් නොයෙකුත් කාරණා වලදී ඔහු ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනෙකුගේ නොපැහැදීම හේතු විය. මේවා සාධාරණීකරණය කිරීමට ඔහු අපමණ තර්ක විතර්ක ඉදිරිපත් කළේය. තර්ක හිරවූ විට ශ්ලෝකයක් හෝ පවසා ගැලවීමට තරම් ඔහු දක්ෂ විය. එහෙත් තර්කයකින් දිනීම සහ හදවත් දිනීම කාරණා දෙකක් බව ඔහුට නොවැටහෙන්නට ඇත. 

ලෝකයේ කොහේ සිටියත් මා පුවතක "නලීන් ද සිල්වා" නම දුටු කල්හිම එය ඔහුගේ වේවා, ඔහු ගැන ලියුවක් වේවා වහා කියවුයෙමි. එතුමාට ලිවීමෙන් තොරව ජීවිතයක් ඇතැයි මට නොසිතෙයි. එබැවින් ඔහු තව දුරටත් ලියනු ඇතැයි පතමි. 






Thursday 28 September 2017

නිදහස් අරකට අත නොතබව්



පසුගිය දිනක අපගේ ශ්‍රී ලාංකික මිතුරෙක් රාත්‍රී භෝජනය සඳහා අප නිවසට ආරාධනා ලැබීය. බොහෝ විනෝදබර වූ එම සන්ධ්‍යාවේ ඔහු අපූරු කතාවක් කිවේය.

"අපේ මාම කෙනෙක් ඉන්නවා නුවර. ඉස්සර නම් මුකුත් නොකර ඔහේ පැත්තකට වෙලා ඉන්න අවස්ථාවක කවුරු හරි ඇහුවොත් මොකද මාමේ කරන්නේ කියල, එයා කියන්නේ 'මේ නිකං ඉන්නවා පුතේ' කියල. හැබැයි දැන් නම් කියන්නේ 'මේ නිදහසේ ඉන්නවා පුතේ' කියල". මිතුරා කීය. 

"මොකක්ද ඉතින් ඒ වෙනසට හේතුව" මම ඇසුවෙමි.

"මාම කියන්නේ එකට හේතුව 'නොමිලේ' කියල".

"මොකක්ද ඒ කතාවේ තේරුම?" මම වික්ෂිප්තව ඇසුවෙමි.

"ඇයි ඉතින් ලංකාවේ 'නිකං' කියන වචනේ තේරුමත් නොමිලේ, 'නිදහස්' කියන වචනේ තේරුමත් නොමිලේ. ඉතින් මාම කියන්නේ නිකං ඉන්නවා කිව්වත් එකයි, නිදහසේ ඉන්නවා කිව්වත් එකයි කියල".

ඔහුගේ කතාවේ උපහාස රසය මට වැටහුනේ එවිටය. 

ලංකාවේ බොහෝ දෙනෙක් නොමිලේ දේවල් ඉල්ලා විදී බසිති. එහෙත් නොමිලේ යයි කීමට ලැජ්ජාවෙන්දෝ ඔවුන් ඒ වචනය වෙනුවට නිදහස් යන වදන භාවිතා කරයි. "නිදහස් අධ්‍යාපනයට අත නොතබනු" යයි කෑගසන කෙනෙකුගෙන් මෙහි නිදහස් යන වචනයෙන් ඔහු අදහස් කරන්නේ කුමක්දැයි අසන්න. නොමිලේ යන්නට වඩා කිසිම දෙයක් ඔහුට කිව නොහැකි වනු ඇත. නොමිලේ නොලැබෙන නිදහස් අධ්‍යාපනයකින් ඔවුනට කිසිඳු ඵලක් නැත. 

මෙසේ නොමිලේ දේවල් ඉල්ලා කෑගසන උදවියම සමහර අවස්ථාවල 'ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය' පිළිබඳවද උදම් අනනු අප දැක ඇත. ලියවී ඇති ඓතිහාසක කරුණු පෙන්වන්නේ ලාංකිකයා ඉතා මෑතක් වනතුරු නිකං කෑමේ පිළිවෙතක් අනුගමනය කර නැති බවයි. තමා ලබා ගන්නා දැනුම වෙනුවෙන් පවා ශිෂ්‍යයා විසින් ආචාර්යවරයාට ගෙවීමක් කරන ලදී. ධනවතුන් නම් කහවණු වලින්ද, ධනය නොමැත්තන් තම ශ්‍රමයෙන්ද මෙම ගෙවීම කරන ලදී. එහෙත් මේ නිකං නොගැනීමේ අභිමානය අද ලාංකිකයා වෙතින් ගිලිහී ගොස් ඇත. 


දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු දරුණු ලෙස කඩා වැටුණු රටවල් නැගී සිටීමට යත්ත දරද්දී, සියල්ලටම පෙර තම ජනතාව දෙපයින් නැගී සිටුවිය යුතු බව එම රටවල පාලකයන්ට පෙනී ගියේය. මෙහි ප්‍රතිපලයක් ලෙස සමාජයේ පහල මට්ටමේ ජනතාව නැගිටුවාලිම සඳහා මූලික මානුෂිය අවශ්‍යතා නොමිළේ හෝ සලාක ක්‍රමයක් යටතේ අඩු මුදලකට ලබා දීම ආරම්භ විය. අධ්‍යාපනය, සෞඛ්‍ය, මූලික ආහාර සහ සමහර රටවල පානීය ජලය එසේ නොමිළේ ලබා දුන් අවශ්‍යතා විය. මෙය කෙටි කාලින සැලසුමක් වූ අතර ක්‍රමයෙන් මේ නොමිළේ ලබාදුන් දේ අඩු කර, බොහෝ රටවල සම්පුර්ණයෙන්ම නවතා දැමීය. 

සමහර යුරෝපීය රටවල් ආර්ථික අතින් ඉදිරියට එද්දී ඔවුනට අධ්‍යාපනය තවදුරටත් සිසුන්ගෙන් මුදලක් අය නොකර පවත්වාගෙන යා හැකි ක්‍රය ශක්තියක් ඇතිවිය. එහෙත් ලොව කිසිම භාණ්ඩයක් හෝ සේවයක් නොමිළේ ලැබෙන්නේ නැත. ඔබට මුදල් ගෙවීමකින් තොරව යමක් ලැබෙද්දී කවරෙකු විසින් හෝ එම මිළ ගෙවිය යුතුව ඇත. යුරෝපයේ සිදුවන්නේ අධ්‍යාපනය ලබන සිසුවා (හෝ ඔහුගේ දෙමාපියන්) අධ්‍යාපනය සඳහා ගෙවිය යුතු මුදල, සමාජය විසින් ගෙවනු ලැබීමයි. මෙම ගෙවීම සිදුවන්නේ සමාජයේ සියළු දෙනාගෙන්ම අය කරන, ආදායමෙන් 35% කට අධික වූ බදු මුදලිනි.

රුසියානු සහ චීන විප්ලව වලින් පසු සමාජවාදී රටවලද මේ ලෙස සිසුවා මුදල් නොගෙවා අධ්‍යාපනය ලබන පසුබිමක් සකස් විය. මේ නොමිලේ අධ්‍යාපනය වෙනුවෙන් ඉගෙන ගත් සිසුවාට මෙන්ම මුළු සමාජයටම තම ශ්‍රමයෙන් සහ දැනුමෙන් නොයෙකුත් ආකාරයෙන් මිල ගෙවීමට සිදුවිය. මෙහිදී බොහෝ විට සිදු වුනේ රජය විසින් නියම කරන රැකියාවක්, රජය තීරණය කරන වැටුපකට කල යුතු වීමයි. මෙය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කල යුතු විය. පසු කලක, අප සැවොම දන්නා පරිදි මෙම ක්‍රමය අසාර්ථක වී ලොව බොහෝ රටවලින් විසිවී ගියේය. අද චීනය රුසියාව වැනි සමාජවාදයේ නියමුවන් වූ රටවලද අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් අධ්‍යාපනය ලබන්නා විසින් වැය කල යුතුය. එහෙත් බොහෝ රටවැසියන් මෙම ක්‍රමයට කැමැති බව ඔවුන්ගේ කතා බහේදී හැඟී යයි. නොමිලේ අධ්‍යාපනය ලබන වහළුන් වීමට වඩා තම මුදලින් ඉගෙන ගන්නා නිදහස් මිනිසුන් වීමට ඔවුන් කැමතිය. කෙසේ නමුත් මේ රටවල අද දක්වා කිසිවෙකුටත්, මුදල් නොමැති බැවින් අධ්‍යාපනය නොලැබීමේ තත්වයක් උදාවී නැත.


ලංකාවේ නිකං දෙන සංඛල්පය එහෙම පිටින්ම විකෘතියකි. කෙටි කලකට හෝ යමක් නොමිලේ ලැබෙන විට ඔවුන් එය අයිතිවාසිකමක් කරගනියි. මෙයට හේතුව වන්නේ දේශපාලුවා විසින් රටේ ජන විඥානය මත සිදුකරන ව්‍යාකූලතාවයකි. ඔවුන් ජනතාව දුප්පතුන් සහ පොහොසතුන් ලෙස ස්ථිර බෙදීමකට ලක් කරයි. ඉන්පසු දුප්පතාට නිකං කන්න දීම පොහොසතාගේ අනිවාර්ය යුතුකමක් බවට අදහසක් ස්ථාපිත කරයි. 

සැබවින්ම ලාංකික සමාජයේ දුප්පත්-පොහොසත් කියා ස්ථාවර බෙදුම් ලක්‍ෂයක් සොයාගත නොහැක. ඇත්තේ සුමට ලෙස වෙනස්වන අනුක්‍රමණයකින් යුත් සරල රේඛාවකි. පුද්ගලයන් වශයෙන් හෝ සමුහ වශයෙන් ජනතාව මේ රේඛාවේ ඉහල පහල යන (හෝ යා හැකි) බව දේශපලුවා වසන් කරයි. මන්ද ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ මෙම බෙදීම සවිමත් වන තරමටය. ඔවුන් දුප්පත්කම උත්කර්ෂයට නංවන්නේ මේ නිසාය. මේ කිසිම දේශපාලකයෙකුට දුප්පතාට අතදී ඔහුව පොහොසතෙකු කිරීමට අවශ්‍ය නැත. මන්ද එවිට ඔවුනට තවත් එක් චන්දයක් අහිමි වන බැවිනි (හෝ ඔවුන් එසේ සිතනා බැවිනි).

සමාජයක් දියුණු වන්නේ සෑම පුද්ගලයෙකුම තමන් ලබන දෙයට නියමිත සාධාරණ මිලක් ගෙවීමෙනි. කලයුත්තේ මෙම සාධාරණ මිල ස්ථාපිත කිරීමයි. එය කිරීමට පෙර සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන් තම තමන්ගේ යුතුකම් පිළිබඳව අවබෝධ කරගත යුතුය. තමා සමාජයේ ඇති-හැකි අය විසින් රැක බලා ගත යුතු නැති-බැරි අය බවට දරන සිතිවිල්ල ප්‍රථමයෙන්ම බැහැර කල යුතුය. එක්කෝ තමන් ලබා ගන්න දෙයට අත්පිට මුදල් ගෙවිය යුතුය. නොඑසේ නම් ලබන ආදායමෙන් ඉහල බදු ප්‍රතිශතයක් රජයට ලබා දීමට සුදානම් විය යුතුය. 

නොඑසේ නම් සිදුවන්නේ ..... මෙතෙක් සිදු වී ඇත්තේ ...... මෙයයි;

වැඩි ප්‍රතිශතයක් ජනතාව නිකං දේවල් බලාපොරොත්තු වෙන බව දේශපාලුවා දනියි. නිකං දෙන්න රටේ ධන උල්පතක් නැත. බදු ගැසුවහොත් ඔහුට පැවැත්මක් නැත. මේ නිසා හොඳම ක්‍රමය හැකි පමණ ණය (පොලියට) ගැනීමයි. ණයට ගෙන නිකං දීමයි. එමගින් රට දිනෙන් දින අගාධයට යයි. මේ බව අප කාටත් වඩා දන්නේ දේශපලුවාය. ගිලෙන නැවකින් අනාගතයේ යමක් ලබා ගැනීමට සිහින මැවීම අනුවණකමකි. ගිලෙන්න පෙර හැකි තරම් දේ රැස් කරගෙන නැවෙන් ඉවත් විය යුතුය. එබැවින් දේශපාලුවා හැකි සෑම අයුරකින්ම තමාගේ පෞද්ගලික මඩිය තරකරගැනීමට උත්සහ කරයි. මන්ද ඔහුගේ සහ පවුලේ පැවැත්ම ඇත්තේ එතනයි. සෑම දේශපාලුවකුගේම අරමුණ මෙය බැවින් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔවුන් එකමුතු වී සිටියි. මුදල් වංචාවකට කිසිඳු දේශපාලුවෙක් මෙතුවක් සිපිරිගෙට ගොස් නැත්තේ මේ නිසාය.... 


-----------------------------------------------------------------------------------

මැලේසියාවේ පවතින 'සුප් කිචන්' සංඛල්පය පිළිබඳව වරක් මම ලිපියක් පළ කලෙමි. මෙහිදී කෙරෙන්නේ සමාජයේ ඇති හැකි අය එකතුවී විශාල පරිමාණයෙන් නැති බැරි අයට රසවත් ආහාර වේලක් දිනපතා ලබා දීමයි. මෙය කෙරෙන්නේ පෞද්ගලික සහ ස්වෙච්චා පදනමක් මතයි. 

මෙය කියවූ මගේ මිතුරෙක් පැවසුවේ "ලංකාවේ නම් මෙහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් එපා" කියාය. ඊට හේතුව ඇසූ විට ඔහුගේ පිළිතුර වුයේ "ඕක පටන් ගත්තා වගේ නෙවෙයි, බැරි වෙලාවත් නවත්තන්න වුනොත්, කට්ටිය රටම පෙරලයි, නිදහස් ආහාර වේලට අත නොතබව් කියල". 

ඔහුගේ ප්‍රකාශය ඇත්තෙන්ම අතිශයෝක්තියක් නොවේ. අසූව දශකයේ මැද භාගයේදී ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව සංඛල්පය ගෙන එන විට සරසවි සිසුන්ට නිකං සල්ලි දෙන ලෙස ඉල්ලීමක් තියා අදහසක්වත් කිසිවෙකු තුල තිබුණේ නැත. සරසවි අධ්‍යාපනය නොමිලේ ලබා දී, මාසය අන්තිමට අතට මුදලකුත් ලබා දෙන තවත් රටක් ලෝකයේ ඇත්දැයි මම නොදනිමි. වැඩිම වුවහොත් ලැබෙන්නේ ණය මුදලකි. ඔහුගේ වාසනාවට මෙන් ඇතුලත්මුදලි මහතා තමා කල වරදෙහි බරපතලකම පිළිබඳව නියම අදහසක් ලබා ගැනීමට පෙර දැයෙන් සමුගත්තේය. 

ටික කලක් යද්දී ශිෂ්‍යයෝ "මහපොළ වැඩි කරවූ", "මහපොළට අත නොතබවූ" යන සටන් පාඨ පෙරදැරි කරගෙන මහා උද්ඝෝෂණ, පන්ති වර්ජන ඇරඹුහ. මීට වසරකට පමණ පෙර ඇතුලත්මුදලි මහතා වෙනුවෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයක් තුල ඉදිකළ සමරු ඵලකය සිසුන් විසින් කඩා බිඳ දැමුවේ "මහපොළ, ඇතුලත්මුදලි ගෙදරින් ගෙන ආ දෙයක් නොවේ" යැයි කියමිනි.  ඔවුන් අගයන, පිළිම සාදන, එකදු දෙසපාලුවෙකුවත් කිසිම දෙයක් ගෙදරින් ගෙනවිත් බෙදා නොදුන් බව ඔවුනට අමතක වී තිබුණි. ඔවුන්ගේ සමහර නයුවන් රටේ තිබූ බොහෝ දේ විනාශ කර දමන ලද බවද ඔවුන්ට අමතක. ඒ ලංකාවේ හැටිය.........   


නිකං දෙනවා නම් දෙමළ පත්තරේ උනත් කමක් නැත 
හැබැයි නිකං දුන්නු දෙමළ පත්තරේ වුවද නවතුවහොත් එය මහා අර්බුධයක් වනු ඇත.  




Monday 4 September 2017

කිම් ජොන්ග්-උන්ගේ පියවරු



ඒ 1990 වසරේ අගෝස්තු මාසයයි. ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) ගේ ඇමරිකානු හමුදා වැලි කුණාටු මෙහෙයුම (Operation Desert Storm) අරඹා තිබුණි. රටවල් කිහිපයක් තම විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් 35කින් සැදුම් ලත් මාරක හමුදාව සදාම් හුසේන්ගේ ඉරාකය ආක්‍රමණය කරමින් බෑක්ඩෑඩ් නගරය වෙත ගමන් කළේය. ඇමරිකාව එවර කියා සිටියේ ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීමට එරෙහිව තමන් ක්‍රියාත්මක වන බවයි.  

ඉන් වසර 13කට පසු ඇමරිකාව නැවතත් ඉරාකය ආක්‍රමණය කළේය. එවර ඇමරිකාව ප්‍රකාශ කලේ සදාම් හුසේන් න්‍යෂ්ටික සහ රසායනික අවි නිපදවන නිසා ඔවුන් මෙම ආක්‍රමණය සිදු කරන බවයි. ඉන් දශකයකට පමණ පසු ඔවුන් මෙම ප්‍රකාශය වැරදි නිගමන මත කරන ලද බව සඳහන් කළේය. ඒ වැරදි නිගමනයට දහස් ගණනකගේ ජිවිත අහිමි කිරීමටත්, වසර ගණනාවක් ගතවන තුරු (අදටත්) එවකට නොයෙකුත් දුර්වලතා මධ්‍යයේ වුවද සශ්‍රිකව පැවතී ඉරාකය අපායක් බවට පත්කිරීමටත් හැකිවිය.

මගේ පෞද්ගලික මතය නම් එදා පළමු ආක්‍රමණ අවස්ථාවේදී සදාම් හුසේන් වෙනුවට කිම් ජොන්ග්-උන් කෙනෙක් ඉරාකයේ සිටියා නම් අද ඉරාක වැසියන් මීට වඩා බොහෝ සෙයින් යහපත් ජීවන තත්වයක් ලබන බවයි. 

සදාම් හුසේන්ට එක තැනකදී හොඳටම වැරදුනි. ඒ වැරැද්ද ආපසු හැරවීමට ඔහුට තම මරණය තෙක්ම නොහැකි විය.

1990 වසර වන විට අසල්වැසි පකිස්ථානය සහ ඉරානය තම න්‍යෂ්ඨික වැඩපිළිවෙලවල් වේගයෙන් ඉදිරියට ගෙන යමින් තිබුණි. ඒ අනුව අනිවාර්යයෙන්ම ඉරාකයේද යම් න්‍යෂ්ඨික වැඩ පිළිවෙලක් තිබෙන්නට ඇත. එවකට ඉන්දියාව න්‍යෂ්ටික අවියක් නිපදවීමේ ක්‍රමවේදයට අවතීර්ණ වී තිබුණු අතර ඔවුන් රුසියන් කදවුරට කිට්ටුවෙන් සිටියේය. මෙය ඇමරිකන් කඳවුරට පක්ෂපාති වූ පකිස්ථානයට තම න්‍යෂ්ඨික වැඩපිළිවෙල සාධාරණීකරණය කර ගැනීමට කදිමට ඉවහල් විය. ඉරානය ප්‍රභල ඇමරිකන් විරෝධී ස්ථාවරයක සිටි අතර ඔවුනට පහර දීමට ඇමරිකාව හේතුවක් සොයමින් සිටියේය. එය ඔවුනට මෙතුවක් නොලැබුණි. දැන් ලැබුනත් පමා වැඩිය. 

කලක් ඇමරිකන් හිතවාදී වූ සදාම් රජය, ඇමරිකාව විසින් මැද පෙරදිග තෙල් නිධිය මංකොල්ල කන බව එක් අවස්ථාවකදී අවබෝධ කරගත්තා යැයි මට සිතෙයි. මන්ද ඔහු ක්‍රමයෙන් ඇමරිකාව අතින් තම රටේ තෙල් වල අධිකාරිය තමාටම පවරා ගැනීම සිදු කරමින් සිටි බැවිනි. මේ නිසා බුෂ් රජයට සදාම් හුසේන්ගේ අවසානය දැකීමට අවශ්‍යවී තිබෙන්න ඇත. 

ඉරාකයට යාබද මැදපෙරදිග කලාපයේ තෙල් නිධිය ඇත්තේ තිරසට තරමක් ඇලවුනු බිත්තරයක ආකාරයෙනි. බිත්තරයේ එසවුණු තෙල් අඩු ප්‍රදේශය කුවේට් රාජ්‍ය දෙසටත් තෙල් පිරුණු පහල කොටස ඉරකය දෙසටත් වන පරිදි මෙම ආකරය පිහිටා ඇත. ඉරාකයට රිදවීම සඳහා ඇමරිකාව සිදුකලේ බටහිර ගැති කුවේටයේ තෙල් ආකර තුලින් තිරස් අතට විදීමෙන් ඉරාක කොටසේ ඇති තෙල් ඉවතට ගැනීමයි.

මෙහිදී සදාම් හුසේන් ඇමරිකානු ඇමට හසු විය. 

එවකට ඉරානය ඇමරිකානු විරෝධී කදවුරක් තනාගෙන දස වසරක් ඉක්ම ගොස් තිබුණි. රටේ තිබූ දැඩි නීති රීති යටතේ ඔවුන් සැක සහිත සියළු විදේශිකයන් පළවා හැර තිබුණි. එහෙත් ඉරාකය එවන විට එසේ දැඩි ඇමරිකන් විරෝධී ස්ථාවරයක සිටියේද නැත. එබැවින් ඇමරිකන් ඔත්තුකරුවන් සහ ආධාරකරුවන් ඕනෑ තරම් ඉරාකයේ සිටින්නට ඇත. එසේම ඉරාකය න්‍යෂ්ඨික අවියක කිට්ටුවටවත් එළඹ සිටින්නට නැත. තවද කුර්දි ජාතිකයන්ට නොයෙකුත් සාපරාධි හිරිහැර කිරීම නිසා රට තුල ඔහුට එරෙහිව එක් ජන වර්ගයක වෛරය ඔහු විසින්ම අවුළුවා තිබුණි.

මෙහිදී සදාම් හුසේන්ට කල යුතුව තිබුනේ කුවේටයට සහ ඇමරිකාවට එරෙහිව ජාත්‍යන්තරයේ ප්‍රබල හඬක් නැගීමයි. එම හඬට කිසිසේත්ම ඇමරිකාව හොරෙන් තෙල් ඇදීම නැවත්වීමට නොහැකි වනු ඇත. එහෙත් එය ඇමරිකාව තම රටට අත දැමීමට එරෙහිව ජාත්‍යන්තරය තුල යම් මතයක් ගොඩ නංවනු ඇත. ඉරාකය සතු තෙල් සම්පතට සාපේක්ෂව මෙම තෙල් සොරකම නොගිනිය හැකි තරම් කුඩාය. 

ඇමරිකාවට එරෙහිව හඬක් නගමින්, හෙමින් සීරුවේ තම න්‍යෂ්ඨික වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාම පසෙක තබා සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළේය. ඇමරිකාව බලා සිටියේ මේ අවස්ථාව සදාම් හුසේන් විසින්ම උදා කරගන්නා තෙක්ය. ඉතිරිය ඉතිහාසයට එක්වී ඇත.

න්‍යෂ්ඨික බලය නොමැතිව ඇමරිකාවට එරෙහිව "චන්ඩි පාර්ට්" දැමීමට ගිය ලිබියාව, ඊජිප්තුව, සිරියාව, ඉරාකය වැනි රටවල් අද අන්ත ආගාධයකට වැටී ඇත. ඇමරිකන් ගැතිව එහෙත් ස්ව උත්සාහයෙන් හිස එසවූ දකුණු කොරියාව, ජපානය වැනි රටවල තත්වය ගැනද හොඳ තක්සේරුවක් පසුගිය දින කිහිපයේදී දැක ගත හැකි විය. උතුරු කොරියාවේ තර්ජන හමුවේ තමන් කියන විදියට වැඩ කරන්නේ නැතැයි කියමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ රටවල් දෙකටම ගර්ජනා කළේය. අසරණ වූ දකුණු කොරියාව මිසයිල් කිහිපයක් උඩු ගුවනට විදිමින් තම රූකඩ ස්වභාවය ලොවට පෙන්විය. න්‍යෂ්ඨික බලය සහිත ආර්ථික යෝධයෙක් වන චීනය ඇමරිකාවේ ප්‍රකාශන තුට්ටු දෙකකට මායිම් කරන පාටක් පෙනෙන්නට නැත. 


මේ අනුව පෙනී යන්නේ කිම් ජොන්ග්-උන්ගේ පියවරු වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය බවයි. කිම් ජොන්ග්-උන් නැමැති නායකයා සහ ඔහුගේ විඥානය බිහි කරන්නේ මෙම ආක්‍රමණවාදී බටහිර ආධිපත්‍යයි. 

මා සිතන ආකාරයට කිම් ජොන්ග්-උන් පිස්සෙකු හෝ නුවණ මද පුද්ගලයෙකු නොවේ. සමහර විට ඔහු දැනට ලෝකයේ සිටින ඥානවන්තම නායකයා විය හැක. ඔහු පසුගිය දශක කිහිපයේ ලෝකයේ ගමන් මග මැනවින් හදාරා ඇති බව පෙනෙයි. ඇමරිකන් ක්‍රීඩාව කිම් ජොන්ග්-උන් හොඳින් අධ්‍යනය කර ඇත. තම න්‍යෂ්ඨික සහ මිසයිල් බලය ඉහල මට්ටමකට ගෙනෙන තෙක් ඔහු වැඩි ශබ්දයක් නොමැතිව සිටියේය. තම රටට පැනවූ ආර්ථික සම්බාධක ඔහු ජයගෙන ඇත. මේ සඳහා ඔහු රට තුල ඉතා දරුණු පාලනයක් ගෙන යන්නට ඇත. එහෙත් මා සමග අදහස් හුවමාරු කරගත් උතුරු කොරියාවට ගිය සංචාරකයන් පැවසුවේ එරට දකුණු කොරියාවට වඩා ඉහලින් සිටින බවයි. 
මේ ලිපිය කියවීමෙන් පසු මා හට කිහිපදෙනෙකුම, දන්වා සිටියේ මෙම වාක්‍යයේ "එරට දකුණු කොරියාවට වඩා ඉහලින් සිටින බවයි" යන්න වැරදි බවයි. ඇත්තෙන්ම මට මුලින් තොරතුරු ලබා දුන් අය පවසා ඇත්තේ බොරු නොවේ. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ ඔවුන් තම ගමන් රාජ්‍ය මට්ටමෙන් සිදු කිරීමයි. මේ අවස්ථාවලදී උතුරු කොරියානු රාජ්‍ය නිලධාරින් සිදු කරනුයේ සංචාරකයන්ට රටේ ඇති සීමිත සෞභාග්‍ය පෙන්වන අතර අභාග්‍ය වසන් කිරීමයි. කෙසේ නමුත් රටේ ඇතුලාන්තයට ගමන් කර ඇති කිහිප දෙනෙකුම පැවසුවේ ජනතාවගේ ජිවන තත්වය සහ රටේ යටිතල පහසුකම් දකුණු කොරියාවට වඩා බොහෝ පහලින් ඇති නමුත් ලංකාවට සාපේක්ෂව බොහෝ දේ ඉතා යහපත් මට්ටමක තිබෙන බවයි. ලංකාවේ ඇති උතුරු කොරියාවේ නැති ප්‍රධානම දේ ලෙස ඔවුන් දකින්නේ ජනතාවගේ සිතීමේ සහ කතා කිරීමේ නිදහසයි. 

අපිට ලැබෙන බටහිර ප්‍රවෘති බොහෝ විට බටහිරට අවශ්‍ය පරිදි විකෘති කල නාටකයන්ය. 

දැන් කිම් ජෝන්ග්-උන් කරන මේ විප්‍රකාර කුමකටද? 

ඇත්තෙම්ම මෙය ඔහුගේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියේ කුඨ ප්‍රාප්තියයි. ඔහුගේ රටට ජාත්‍යන්තරය විසින් ආර්ථික සම්බාධක රාශියක් පනවා ඇත. ජාත්‍යන්තරය යැයි පැවසුවාට එය ඇමරිකාවේ වුවමනාවට සිදු වූ දෙයක් බව නොරහසකි. එම සම්බාධක අර්ථ ශූන්‍ය බව ඔහු ලොවට පෙන්වා ඇත. කිම් ජොන්ග්-උන් පිස්සෙකු බැවින් ඔහු ලොවට කල හැකි මහා ව්‍යසනයක් වලක්වා ගත හැකි එකම ක්‍රමය උතුරු කොරියාවට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කර එය තවත් න්‍යෂ්ඨික බලවතෙකු ලෙස පිළිගනිම බව නුදුරේදීම ජාත්‍යන්තරය පවසනු ඇත. 

ඉන් පසු උතුරු කොරියාව සතුටින් සිටිනු ඇත. 

ඊළඟට ඉරානය මෙම මාර්ගයට පිවිසෙනු ඇත. 


Friday 25 August 2017

භක්තිය


මා කුඩා කල අප නිවසේ සියලු දෙනාම සායි බාබා භක්තිකයන් විය. එවිට මගේ වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. බ්‍රහස්පතින්දා අපට විශේෂ දවසකි. එදින අපගේ දිනචරියාව වෙනදාට වඩා වෙනස්ය. සවස 5 ට පමණ නිවසේ සියලු දෙනා නා පිරිසිඳු වී පටන් ගන්නා ගමන කෙලවර වන්නේ රාත්‍රී 10.30 ට පමණ ආපසු නිවසට පැමිණීමෙනි.

මුලින්ම බම්බලපිටියේ වජිරාරාම පන්සලට පිය නගන අපි එහි ආගමික වතාවත් සිදු කරමු. ඉන්පසු, ඊට මදක් දුරින් පිහිටි බම්බලපිටිය හින්දු කෝවිල පිටු පස වූ වෛද්‍ය පිල්ලේ මහතාගේ නිවසට ඇවිදගෙන යන්නෙමු. ඒ එහි පැවැත්වෙන සායි භජන් (සායි බාබා වෙනුවෙන් ගැයෙන ගීතිකා) ගායනා සඳහා සහභාගී වීමටය. මට තවමත් ඒ භජන් ගීත සමහරක් මතකය. පිරිසත් සමග මෙම ගීත ගායනා කිරීම මට දැඩි විනෝදයක් විය. ඊටත් වඩා මගේ සිත් ගත්තේ භජන් වාරය නිම වූ පසු ලැබෙන රසකැවිලි කිහිපයයි. අන්තිම භජන් ගීත ටික ඉවර වනතුරු මම සිටින්නේ අපහසුවෙනි. ඒ කකුල් හිරි වැටීම නිසා ඇතිවන කටු ඇනෙනවා වැනි ස්වභාවයත්, ලැබෙන රසකැවිලි මතක් වීමත් නිසාය. 

මේ භජන් ගායනයට සහභාගී වන සමහර අවස්ථාවල එහි ඇති විශාල සායි බාබා පිළිරුවේ මුහුණ ප්‍රදේශයෙන් එකවරම අළු පැහැති කුඩු වර්ගයක් ඇද හැලේ. මේවා විභූති ලෙස එහි පැමිණෙන්නෝ හඳුන්වති. විභූති වැටෙන විට සියල්ලෝම භජන් ගායනය නවත්වා "සත්‍ය සායි මහා රජිකේ" වැනි යමක් මහා හඬින් පවසයි. 

"මෙහෙම දේවල් දකින්න හොඳ භක්තියක් තියෙන්න ඕනේ" අපේ අම්මා පවසයි. 

මට මතක ඇති ආකාරයට මම භක්තිය යන වදන මුලින්ම ඇසුවේ මේ අවස්ථාවේදීයි. අප පන්සල තුල වතාවත් කරන කිසිඳු වෙලාවක අම්මා මෙම භක්තිය යන වදන භාවිත නොකරයි.

"අම්මේ මම ගොඩක් භක්තියෙන් හිටියොත් විභූති වෙනුවට පැණි බූන්දි වැටෙයිද" දවසක් මම අම්මාගෙන් ඇසුවෙමි. භජන් ගායනා වලින් පසුව ලැබෙන රසකැවිලි වලින් මගේ ප්‍රියතම අංගය එයයි.

"මෝඩ කතා කියන්න එපා ළමයෝ. කතා කරන්න දෙයක් නැත්නම් කට වහගෙන ඉන්න" අම්මා මට සැර දැමුවාය.

අම්මාගේ ගෝරනාඩුව මට නොතේරේ. භක්තියට මේ වැඩකට නැති අළු ගොඩක් මවන්න හැකි නම් වැඩකට ඇති පැණි බූන්දි හෝ අඩුම ගණනේ බඩ පිරෙන්න කිරිබත් කෑල්ලක් හෝ මැවිය නොහැකි වීම මට ප්‍රේහෙලිකාවකි. කෝවිල අවට සිඟා කන මගේම වයසේ වූ දරුවන් මට මතක් වෙයි. සියළු වැර යොදා භක්තිය වඩවා සායි පිළිමයෙන් ආහාර පාන, ඇඳුම් පැළඳුම් මවා ගෙන, ඒවා ඒ දරුවන්ට බෙදා දීමට මම සිහින දැක්කෙමි. එය කුඩා දරුවකුගේ සිහිනයක්ම පමණක් විය.


ඉන් පසු ගෙවුණු 40 වසර තුල මම ලෝකයේ රටවල් 40 කට වඩා තරණය කලෙමි. තම දරුවා බඩගින්නේ හඬද්දී අමාරුවෙන් මිලදී ගත් කිරි ටිකෙන් බොල් පිළිම නහවන ගැහැණුන් මම දැක ඇත්තෙමි.  සිය ගණනක් යාචකයන් අහර බිඳක් යදිද්දී තම භක්තිය වෙනුවෙන් ගල් පර්වත, රුක්‍ෂ ලතා ඉදිරියේ රස මසවුළු තබා ඉන්පසු ඒවා විසි කරන මිනිසුන් මම දුටුවෙමි. දුප්පත්කම හතර වටින් ඇද හැලෙන නගරවල දේවස්ථාන මිල මුදලින්, රත්තරනින්, කසී සළුවලින් පිරී ඉතිරෙනු මම දුටුවෙමි. මේ සියල්ල කෙරේ මිනිසා යොමු කර තිබුණේ භක්තිය විසිනි. 

එහිදී මට වැටහුණු අපුරුම කරුණ නම් භක්තිය යම් ප්‍රමාණයකට සමාජයක සමෘද්ධිමත්භාවයට ප්‍රතිලෝමව සමානුපාත බවයි. හින්දු ලබ්ධිකයන් අතර භක්තිමත් බවේ ඉහලම තලයේ වැජඹෙන්නේ ඉන්දියාවේ සහ නේපාලයේ සිටින අන්ත දිළිඳු ජනතාවයි. කතෝලිකයන්ගේ භක්තියෙහි දිග පළල බැලීමට නම් ඔබ යා යුත්තේ රෝමයට නොව උගන්ඩාවේ, සැම්බියාවේ හෝ නයිජීරියාවේ දිළිඳු සමාජ ස්ථර වලටයි. පකිස්තානයේ හෝ ඇෆ්ඝනිස්ථානයේ දුෂ්කර ගම්මානවලදී ඔබට ඉස්ලාම් භක්තියේ ඉහලම අන්තය දැක බලා ගත හැකි වනු ඇත. භක්තියට වැඩි තැනක් හිමි නොවන බෞද්ධ සමාජයේ පීඩිතයෝ බුදු දහම පසෙකලා භක්තියෙන් ඔද වැටී දෙවිවරුන්, මෑණිවරුන්, බබාලා, තුමාලා පසු පස දුවන්නෝය. මගේ කුඩා අවධිය මේ ගැන මට ප්‍රයෝගික අත්දැකීම් ලබා දී ඇත.

භක්තිය යන්නට ආසන්නම ඉංග්‍රීසි පරිවර්තනය "devotion" යන්නයි. මෙම වදන සඳහා ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ලබාදෙන අර්ථකථනයෙහි සිංහල පරිවර්තනය "පුද්ගලයෙකුට හෝ යම් ක්‍රියාකාරකමකට දක්වන ප්‍රේමය, පක්ෂපාතිත්වය සහ උද්‍යෝගය" යන්නයි.

ඉහත ඉංග්‍රීසි බස හරහා ලැබෙන භක්තියෙහි අර්ථකථනය නිවැරදි නොවන බව මගේ හැඟීමයි. 

යමෙකු මගෙන් භක්තිය යනු කුමක්දැයි විමසා සිටියහොත් මා ඔහුට දෙන පිළිතුර "බිය සහ තෘෂ්ණාව මුල් කරගනිමින් තේරුම්ගත නොහැකි සාධක කෙරෙහි මිනිසාගේ සිතේ ඇතිවන චකිතය" භක්තිය යන්නයි. 

ඔබ ඉදිරියේ විශාල මැටි ගොඩක් ඇතැයි සිතන්න. ඔබ මැටි වලට බියද? ඔබට මැටි ගොඩෙන් මැටිවලට අමතරව වෙනත් යමක් ලබා ගත හැකිද? පිළිතුර අනිවාර්යයෙන්ම "නැත" යන්නයි.

දැන් කවරෙකු හෝ මේ මැටි ගොඩෙන් දිව එලියට ඇදුනු, දත් මුව දෙපසට නෙරාගිය, නොයෙකුත් ආයුධ සහ මිනිස් හිස් දරාගත් අත් රැසක් ඇති විරූප ගැහැණු වේශයක් අඹනවා යැයි සිතන්න. දැන් ඔබ බිය වේ. මැටි පිළිමයේ රතු, කහ තීන්ත පින්තාරු කර එයට නමක්ද තැබූ විට ඔබ තවත් බිය වෙයි. 


මේ පිළිමයට වැඳීමෙන් ඔබට වස්තුව, ධනය, බලය, නිළතල ලබා ගත හැකියැයි ඔබට සිතෙයි. නැතහොත් කවරෙකු හෝ ඔබට පවසයි. එවිට ඔබට තෘෂ්ණාව ඇතිවෙයි. දැන් ඔබව වෙලාගෙන ඇති හැඟීම් සමුදාය භක්තියයි. 

පිළිමයෙන් බොහෝ දේ ලබාගත හැකි යැයි, පිළිමයට බොහෝ දේ කල හැකියැයි ඔබට සිතෙයි. මේ ටික වෙලාවකට පෙර තිබූ මැටි ගොඩම බව ඔබට නොතේරෙයි. ඔබගේ මනසට දැන් ඔබම විලංගු දමාගෙන ඇත. මැටි ගොඩ දෙවියෙකු වී ඇත. ඔබ එයට බියවී ඇත. ඔබ පිළිමය සමග ගනුදෙනු කල යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. එනම් භක්තියෙනි.

සමහරුන් බොල් පිළිම වලින් දෙවියන් සොයද්දී, තවත් සමහරුන්, තුරුලතා වලින්ද, වැලි ගඩොල්, කොන්ක්‍රීට් වලින් තැනු දේවස්ථාන වලින්ද, පොත් වලින්ද, ඒ කිසිත් නැත්නම් හිස් අවකාශයෙන්ද දෙවියන් සොයයි.

බියෙන් සහ තෘෂ්ණාවෙන් තොර භක්තියක් නැත. තිස්තුන් කෝටියක් දෙවිවරුන් වුවද, ඒක දෙවියෙකු වුවද ඔබ තුල භක්තිය ඇතිවන්නේ තෘෂ්ණාව මුල් කරගෙනය. ලොව පුරා මිනිසුන් දෙවියන් යදින්නේ, දෙවියන්ගේ ගුණ ගායනා කරන්නේ යමක් ලැබේයැයි සිතාගෙනය. සමහරු දිව්‍ය ලෝකයේ යන්නට ප්‍රවේශපත් යදිති. සමහරුන්ට රෝග සුව කරගැනීමට අවශ්‍යවෙයි. තවත් අයට යාන වාහන, මිල මුදල්, ඉඩකඩම්, නඩු හබ වලින් ජයගැනීම්, විභාග සමත් වීම් ආදී මෙකි නොකී සියලුම දේ ලබාගන්නට අවශ්‍යවෙයි. මේ අතර තමන්ට ඥානය ලබාදෙන මෙන් මැටි පිළිම වලින් යදින අයද දක්නට ලැබෙයි.

කිසිවක් දෙන්නේ නැති දෙවියෙකුව ඔබ සත පහකට ගණන් නොගනු ඇත. 

"ඔබ කැමති යමක් ඔබට දිය හැකි දෙවියන්ට ඔබ අකැමති වුවත් ඔබට දඬුවම් ලබාදීමටද පුළුවන". නුවණැති කපටියන් තම මඩිය තර කරගන්නේ මේ තර්කය උපයෝගී කරගෙනය. ඒ කපටියා, ඔබත් ඔබ සාදාගත් දෙවියනුත් අතරට පැමිණෙන බ්‍රෝකර්වරයාය. නොයෙකුත් ආගම් වල මෙම බ්‍රෝකර්වරයා හැඳින්වීමට නොයෙකුත් නම් භාවිතා කෙරේ. දෙවියන් ඔබට දෙන දේද, ඔබ දෙවියන්ට දෙන දේද අන්තිමට නතර වන්නේ මෙම බ්‍රෝකර් වරයා ළඟය.


බෝල් පිළිම වලට මුදල් කොළ සමග කොඳුරුවන් වටවූ අඹ, අන්නාසි, දිවුල් ගැට, කෙසෙල් ගෙඩි පිදීමට තරම් භක්තිය ඔබව අන්ධ කරයි. භක්තිය වෙනුවෙන් ඇඟ පුරා කටු ගසා ගන්න, ජිවිත කාලයම නොනා සිටීමට, පැය ගණන් බිම දිගේ පෙරලීමට, හතරට පහට නැවෙමින් නිතිපතා යාඥා කිරීමට සමහරුන් පෙළඹේ. මෙයින් නොනවතින සමහර ආගමිකයන් සර්ව බලතල සහිත, සියළු දේ කල හැකි දෙවියන් වෙනුවෙන් අනෙක් මිනිසුන් සමග සටන් කරයි. මිනී මරයි. ගම් බිම් ගිනිබත් කරයි.  අන්තිමේදී ඔබට යමක් ලබාගන්නට මවා ගත් දෙවියා වෙනුවෙන් ඔබට ඔබේ වර්ගයාම නැසීමට සිදුව ඇත. මේ භක්තියෙහි භයංකරත්වයයි.

භක්තියේ නාමයෙන් අන්ධව සිටි යුගයෙන් නික්ම යාමට කාලය එළඹ ඇත. 




Sunday 4 June 2017

මුළු ලොවම මායාවක්ද?


“ඔබ මා දකින්නේ කොතනද?” සුප්‍රකට ඉන්දීය යෝගිවරයෙක් වන සද්ගුරු තම ප්‍රේක්ෂකයන්ගෙන් අසයි. මුළු ප්‍රේක්ෂකාගාරයම සද්ගුරු සිටින දෙසට සිය අතැඟිලි දිගු කරයි.

“ඔබ සියලු දෙනාම වැරදියි” සද්ගුරු සිනාසෙමින් පවසයි.

“අප දන්නා සරළ භෞතික විද්‍යාවට අනුව මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබගේ අක්‍ෂි කාචයෙන් වර්තනය වී දෘෂ්ටිවිතානයේ ප්‍රතිබිම්බයක් සාදනවා. ඔබට මාව පෙනෙන්නේ එතැන නොවේද?” ඔහු අසයි. ඔහුගේ අරමුණ අප සියලු දෙනාම ලෝකය දකින්නේ තමන් තුලින් බව ඒත්තු ගැන්වීමට ය.

බොහෝ සරසවිවල පර්යේෂණ ක්‍රමවේදය (research methodology) පශ්චාත් උපාධිධාරීන්ට අනිවාර්ය විෂයයකි. පර්යේෂණ ව්‍යාපෘතිවලට යොමුවන සිසුන් ඒ සඳහා තාක්‍ෂණිකව මෙන්ම මානසිකව ද සුදානම් කිරීමට මෙම පාඨමාලාව මහෝපකරි වේ.

මැලේසියාවේ පුත්‍රා සරසවියේ මෙම විෂයය ඉගැන්වීම මා ලද අපූරු අත්දැකීමකි. ඒ, එම විෂයය සඳහා සහභාගී වන සිසුන්ගේ පුළුල් පරාසය නිසා ය. ඔවුන් ආගම, ජාතිය, දේශය, වයස ආදී පෞද්ගලික පරාමිතිවලින් විශාල වපසරියක් පුරා පැතිර ඇත. සිසුන්ගෙන් වැඩි පිරිසක් තම ඇදහීම් රටාව හේතුවෙන් සිය සිතීමේ නිදහසට ස්වයං විලංගු දමාගෙන ඇති බව බොහෝ විට දක්නට ලැබේ. මේ තත්වයෙන් ඔවුන් තාවකාලිකව හෝ ඉවත්කර නිදහස් චින්තනයේ අලංකාරය රස විඳීමට සලස්වා දීම අපගේ යුතුකම ය. මේ සඳහා අපි සද්ගුරුගේ ක්‍රියාකාරකමෙන් පටන් ගනිමු.
ඔබ ලෝකයම දකින්නේ තම දෘෂ්ටිවිතානයේ සෑදෙන ප්‍රතිබිම්බයක් මගින් නම් ඇත්තටම ඔබට කිසිවක් දැකීමට එම දෙය සැබවින්ම ඔබ ඉදිරියේ තිබීමට අවශ්‍ය නැත. මේ වන විටත් භාවිතයේ තිබෙන උපැස් යුවලක් ලෙස පැළඳිය හැකි අත්‍ය යථාර්තික (virtual reality) උපකරණය මගින් ඔබට මේ අත්දැකීම විඳිය හැක.
අපි තව මදක් ගැඹුරට යමු. ඔබගේ ගුරුවරයා ඔබ ඉදිරියේ සිටගෙන සිටිනවා යැයි සිතන්න. දැන් ඔබගේ දෘෂ්ටිවිතානයේ සෑදෙන ප්‍රතිබිම්බය ඔහුම යැයි ඔබගේ මනස හඳුනා ගන්නේ කෙසේ ද?
ඉතා සරළව ඉහත පැනයට දිය හැකි පිළිතුර මෙසේ ය. දෘෂ්ටිවිතානයේ සෑදෙන ප්‍රතිබිම්බයේ ආලෝක පැතිරුමට අනුරූපව ඊට සම්බන්ධ දෘෂ්ටි ස්නායු අග විද්‍යුත් සංඥාවක් (electrical signal) ඇති වේ. මෙය ප්‍රකාශගුණකයේ (photomultiplier) ක්‍රියාවලියට සමාන වේ. මෙම විද්‍යුත් සංඥාව ප්‍රතිබිම්බය හඳුනාගැනීමට අදාළ තොරතුරු මොළයේ යම් කොටසක් වෙතට ගෙනයයි. බොහෝ දෙනෙකුට පරිඝනකයේ ක්‍රියාකාරිත්වය දෙස බැලීමෙන් මෙය වටහා ගත හැක.
විද්‍යුත් සංඥා ආකාරයෙන් මොළය වෙතට පැමිණෙන තොරතුරු එහිදී සංකීර්ණ සැකසුමකට ලක් වේ.  මෙහිදී අදාළ ප්‍රතිබිම්බය ඔබගේ මතක පද්ධතියේ (memory system) ඇති තොරතුරු සමග සසඳනු ලැබේ. ගුරුවරයා ඔබ නිතරම දකින කෙනෙක් නම් ඔහුගේ තොරතුරු මතක පද්ධතියේ ඉහළ ම ස්ථරවල පවතී. එබැවින් ඉතා ඉක්මනින් සැසඳීමේ ක්‍රියාවලිය අවසන් වේ. 

ඔබ ගුරුවරයා දකින්නේ වසර 10 ට පමණ පසුව නම් කාරණා දෙකක් නිසා ඔබට ඔහුව පහසුවෙන් හඳුනාගත නොහැකි වනු ඇත. පළමු කාරණය නම් කාලයත් සමග ගුරුවරයා පිළිබඳව තොරතුරු මතක පද්ධතියේ පහළ ස්ථරවලට තල්ලු වී තිබීමයි. එවිට එම තොරතුරු සොයා ගැනීමට මොලයේ සැකසුම් ඒකකයට (processing unit) වැඩි කාලයක් ගත වේ. දෙවැන්න, දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් ගුරුවරයාගේ හැඩරුව වෙනස් වී තිබීමට ඉඩකඩ වැඩි වීමයි. මේ නිසා ගුරුවරයාගේ ප්‍රතිබිම්බයෙන් එන විද්‍යුත් සංඥාව ඔහු පිළිබඳව මතකයේ ඇති තොරතුරු හා නොගැලපීමට ඉඩ ඇත.

දැන් අපි මෙලෙස සිතමු. යම් උපක්‍රමයක් මගින් දෘෂ්ටි ස්නායු කෙලවර ගුරුවරයාගේ ප්‍රතිබිම්බයට අදාළ විද්‍යුත් සංඥාව සෑදිය හැකි යැයි සිතන්න. මෙය විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන උපකරණයක් මගින් සිදුකිරීමට හැකියාව තිබෙනු ඇත. දැන් ඔබට දෑස නොපෙනුණත් ගුරුවරයාව පෙනේ. ඉහත විද්‍යුත් සංඥාව මොළයේ අදාළ ස්ථානයේ ස්ථානගත කළ හැකි වේ නම් ඔබට දෘෂ්ටි ස්නායු නැතිව වුව ද ගුරුවරයාව දැකිය හැක.

දැන් ඔබට සිතෙන්නේ නැද්ද මේ ලෝකයේ අපි දකින සියලු දෙයම කිසිවෙකු හෝ කිසියම් බලවේගයක් විසින් අපගේ දෘෂ්ටි විතානයේ ඇති කරන ප්‍රතිබිම්බ හෝ ස්නායු පද්ධතියේ ඇති කරන විද්‍යුත් සංඥා නිසා අපේ මනස දකින මායාවන් බව?
එසේ නම් අප දකින බොහෝ දෙය ස්පර්ශ කිරීමට, එහි ගඳ-සුවද හෝ රස බැලීමට, ශබ්ද ඇසීමට අපට හැකිවන්නේ කෙසේ දැයි ඉහත පැනයට පිළිතුරු දෙන සිසු සිසුවියෝ අසති.
ඔබ සියලු දෙනාම අමතක කරන කරුණක් නම් ඉහත සඳහන් සියලුම සංවේදකවලට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන්නේ ඇසේ සිදුවන ක්‍රියාකාරිත්වයට සමානව බව ය. උදාහරණයක් ලෙස ගුරුවරයාගේ අතක් අල්ලන විට එය අත ලෙස හැඟෙන්නේ ඔබේ සමේ ඇති ස්නායු ගුරුවරයගේ අතේ ඇති දෘඩතාවය පිළිබඳව තොරතුරු ඔබගේ මොළයට සපයනු ලබන බැවිනි. ගුරුවරයාගේ අත ඔබ අල්ලන විට ඇතිවන මේ විද්‍යුත් සංඥා ඉබේටම ඇති වුවහොත් හෝ යමෙකු විසින් ඇති කරයි නම් ඔබට ඔහුගේ අත එතන නො තිබුණත් අත අල්ලනවා යන හැඟීම ඇති වේ.
ඉහත කාරණා හුදු මතවාදයකින් ඔබ්බට ගෙනයෑමට දැන් පර්යේෂණ කණ්ඩායම් කිහිපයක් යුහුසුළු වෙමින් පවතී. නුදුරු අනාගතයේ දී ම ඔබට දෑස වසා ගෙන චිත්‍රපට, දේශණ මෙන්ම ප්‍රවෘති නැරඹීමේ ද අවස්ථාව උදාවනු ඇත. එපමණක් නොව, ලිංගික අවශ්‍යතා සපුරාගැනීමට, ඉතා ප්‍රණීත ආහාර වේලක් රස විඳීමට, ඉතා සුගන්ධවත් මල් උයනක පියනැගීමට හෝ කර්ණ රසායන සංගීතයක් විඳ ගැනීමට ඔබට අවශ්‍යවන්නේ එක් විද්‍යුත් චුම්බක උපකරණයක් ක්‍රියාත්මක කිරීම පමණකි. ඉන්පසු ඔබට දෑස පියාගෙන සැතපී සියළු රස විඳිය හැක.
සිත තිගැස්සෙන විට දකින හොල්මන්, අවතාර, භූත, ප්‍රේත රූප ලෙස අප හඳුන්වන රූපාකාර බොහෝ විට අප‍ගේ මොළයේම යම් කොටස් මගින් ඇති කරන විද්‍යුත් සංඥා විය හැක. එලෙසම ඉතා සන්සුන්ව, ශ්‍රද්ධාවෙන් යුතුව සිටින විට හෝ භාවනා කරන විට සමහරු දකින බව කියන දෙව්, බඹ, සුරඟන රූපකායන් ද මෙලෙසම මොළය විසින් එළිදක්වන විද්‍යුත් උත්පාදන විය හැක.
දැන් නැවතත් අපි මුල් කාරණයට ප්‍රවිෂ්ඨ වෙමු. ඔබ දකින ලොව සැබෑවටම පවතිනවා දැයි පැනයක් මතුවන්නේ නැද්ද?
අපි සැබවින්ම අතරමං වන ස්ථානයට පැමිණෙන්නේ මෙතන දී ය. මුළු ලොවම මායාවක් නම් අප කතා කරන දෘෂ්ටිවිතාන, ස්නායු, මොළය, මතක පද්ධති ආදී මගේය කියන සියලු දෙයම ද මායාවන් වන්නේ ය.
අවසානයේදී “මම”ද මායාවකි.
- This article was published in Rivira Newspaper on 28-05-2017

Friday 2 June 2017

වෙන්න පුළුවන් මෙච්චරද...?



ඇමසන් වනාන්තරයට නිරතුරුව වැටෙන වර්ෂාව ඉතා අධිකය. එහෙත් ඒ නිසා සිදුවන මානව ව්‍යසන (human disasters) පිළිබඳව අප අසා නැත. වසර දහයකට පමණ වරක් එහි ඇතිවන ආන්තික වර්ෂාපතනය කොළඹ නගරයට වැටුනොත්, අඩුම ගන්නේ ජීවිත විසි තිස් දහසක් වත් නැතිවන අතර නගරය මුළුමනින්ම පාහේ විනාශ වී යයි. කොළඹට ඇතිවන බලපෑම ඇමසන් වනයට ඇති නොවන්නේ එහි මානව ක්‍රියාකාරකම් ඉතා අවම මට්ටමක පවතින බැවිනි.

"ස්වභාවික ආපදා (natural hazards)" යන යෙදුම ඉතා අස්වාභාවික යැයි මට සිතේ. මෙය දේශපාලකයාගේ සහ ගුප්ත බලයෙන් අනාවැකි පවසන්නන්ගේ උන්නතිය සඳහා බිහිකරගත් යෙදුමකි. ලෝකයේ ස්වභාවික ආන්තික සිදුවීම් (natural extreme events) ඇත. නිතර සිදු නොවන ස්වභාවික සංසිද්ධීන් හැඳින්වීමට මෙම යෙදුම භාවිත කෙරේ. මානව ක්‍රියාකාරකම් නිසා සමහර විට මෙම ස්වභාවික ආන්තික සිදුවීම් මානව ව්‍යසන බවට පත්වෙයි. එහෙත් මානව ව්‍යසනයක් ඇතිකිරීමට ස්වභාවික සංසිධියක් ආන්තික විය යුතුම නැත.


ලංකාවේ වර්ෂාපතන රටාව අධ්‍යනය කරන අයෙකුට පසුගිය වසර 50-60 කාලය තුලදී ලංකාවේ වර්ෂාපතනය හෝ වර්ෂාපතන ඝනත්වය මෑත වසර වලදී වැඩි වූ බවක් පැහැදිලිව දක්නට නැත. යම් අධික වර්ෂාපතනයක් ආවර්තියව යම් කාල වකවානුවක යම් ප්‍රදේශයකට ලැබේ නම් එය ආන්තික සිදුවීමක් ලෙස සැලකිය නොහැක. මන්ද එම ප්‍රදේශය සඳහා එම වර්ෂාපතනය කල් තබා බලාපොරොත්තු විය හැකි බැවිනි. 

එසේම එක් ප්‍රදේශයකට ආන්තික වන කාලගුණ තත්වයක් තවත් ප්‍රදේශයකට සාමාන්‍ය සිදුවීමක් වෙයි. උදාහරණයක් ලෙස ගත හොත් ඉන්දියාවේ රාජස්ථානයේ සමහර ප්‍රදේශ වල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 100 ක් පමණ වෙයි. කොළඹ ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2400 පමණ වෙයි. එක් වර්ෂයකදී මේ සංසින්ධින් දෙක එකිනෙක වෙනස් වී සිදු වුව හොත් රාජස්ථානයට මහා ජල ගැලීම්ද කොළඹට බිහිසුණු නියගයක්ද ආකාරයෙන් ආන්තික සිදුවීම් බවට පත්වෙයි.  

වසර 2010 සිට නිරතුරුවම ලංකාවේ ජල ගැලීම් ඇතිවෙයි. එසේ නම් මේ ජල ගැලීම් ඇතිවූ බොහෝ අවස්ථාවල ආන්තික වර්ෂාපතනයක් ලැබුණා යයි අපට සඳහන් කිරීමට නොහැක. ඇත්තටම දකුණු ඉන්දීය සාගර කළාපයේ ඇතිවන වර්ෂාපතන තත්ව සමග සසඳන කල ලංකාවට ලැබෙන වර්ෂාපතනයේ කිසිම "ආන්තික" ස්වභාවක් නැත. 


මා කියන කරුණ අවබෝධ කරගැනීමට කදිම අවස්තාවක් පසුගිය දිනවල උදාවිය. ඉන්දියාව මගින් ගුවන්ගත කර ඇති INSAT චන්ද්‍රිකාවෙන් ලබා දෙන කළාපයේ කාලගුණ හැසිරීම පිළිබඳව චායාරූප, අදාළ වෙබ් අඩවිය පැයකට වරක් යාවත්කාලින කරයි. මෙම චායාරූප ඕනෑම අයෙකුට නැරඹිය හැක. ලංකාවට ගං වතුර ඇතිවූ දින කිහිපයේ ඔබ මෙම වෙබ් අඩවිය පිරික්සුවා නම් ලංකාවට වැටුණු සාපේක්ෂ වර්ෂාව පිළිබඳව හොඳ  අදහසක් ගත හැකිව තිබුණි. 

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉතා විශාල වපසරියක් පුරා පැතිරුණු දරුණු අවපීඩන ප්‍රදේශයක් පැවතී අතර අඩු පීඩනය දෙසට අරාබි මුහුදේ සිට තෙත් වා දහරා පැමිණෙමින් තිබුණි. ලංකාවට වැසි ලැබුණේ මෙම තෙත් සුළං ප්‍රවාහ මගිනි. දවස් කීපයක් සුළු දෝලනයවීම් සහිතව පැවතී අවපීඩන කළාපය (එය පසුව සුළි සුළගක් බවට පත්විය) පසුව බංග්ලාදේශය සහ මියන්මාරය දෙසට ගමන් කළේය.

ලංකාව හරහා ගමන් කල වා ධාරා වල ප්‍රමාණයද පැවතී අවපීඩන ප්‍රදේශයේ තීව්‍රතාවයද ඔබ සැසඳුවා නම් මා පවසන්න යන දේ ඔබට මේ වන විටත් පැහැදිලි වී ඇතැයි මම සිතමි. අවපීඩන ප්‍රදේශයේ ප්‍රභලත්වයට අලඟු තියන්න වත් ලංකාව හරහා හැමූ සුළඟට නොහැකිය. 

මේ සංසිද්ධියෙන් අප අවබෝධ කරගත යුත්තේ කුමක්ද? යම් හෙයකින් අවපීඩන ප්‍රදේශය සුළි සුළඟක් බවට පත්වී ලංකාව දෙසට ආවා නම්...................? 

එය එසේ සිදු වුවා නම් සැබවින්ම ආන්තික සිදුවීමක් වන්නට තිබුණි. එබඳු අවස්ථාවක් ඇතිවීමට ඇති ඉඩකඩ කුමක්ද? සාමාන්‍යයෙන් බෙංගාල බොක්කේ ඇතිවන අවපීඩනයක් ගමන් කරන්නේ බටහිර-නැගෙනහිර දිශාන්තියක, උතුරු ප්‍රදේශයටය බරවය. එනම් ඔරිස්සා, කල්කටා, බංග්ලාදේශය මියන්මාරය ආදී ප්‍රදේශවලටය. මෙයට කලාපීය සංවහන රටා, වායුගෝලිය සහ මතුපිට උෂ්ණත්වය ඇතුළු කාරණා කිහිපයක් බලපායි.


කලාතුරකින් එකම අවස්ථාවේ බෙංගාල බොක්කේ සහ අරාබි මුහුදේ එකවර අවපීඩන ප්‍රදේශ බිහිවිය හැක. එබඳු අවස්ථාවක අවපීඩන ප්‍රදේශ එකිනෙකා තමන් වෙත ඇද ගැනීම හේතුවෙන් එක් සුළි කුණාටුවක් ලංකාව හරහා ගමන් කිරීමේ ඉඩකඩ පවතී. මා සිතන ආකාරයට 1978 සිදුවුයේ මෙවැනි සංසිද්ධියකි. ඉන් අනතුරුව, අප දැන් වසර 40 ක් පමණ කාල වක්‍රයේ ඉදිරියෙන් සිටියි. අද ඒ 1978 සුළි සුළඟ පැමිණුනොත්....?

වර්තමානය වනවිට අපට ආන්තික නොවන වර්ෂාපතන හේතුවෙන් දරුණු ගං වතුර විපත් පැමිණෙමින් පවතියි. මීට හේතුව ස්වභාවධර්මයේ අක්‍රමිකතාවයක් නොව මානව ක්‍රියාකාරකම් නිසා මානව ව්‍යසන අධික වීම බව ඔබට වැටහෙනවා ඇත. රජය මෙන්ම ආපදා කළමනාකරණයේ යෙදෙන සියලු දෙනාම මේ ගැන අවබෝධයෙන් කටයුතු කල යුතු බව මගේ හැඟීමයි. අප ඉක්මනින්ම සුදානම් විය යුත්තේ ආවර්තිතව (periodic) සිදුවන ඉහල වර්ෂාපතනයන්ගෙන් ඇතිවන මානව ව්‍යසන අවම කරගැනීම කෙරෙහිය.  

ආන්තික වර්ෂාපතනයක් සඳහා අප සුදානම් විය යුත්තේ ඉන් අනතුරුවයි. 

ආන්තික සහ ආවර්තිය ස්වභාවික සිදුවීම් වලින් ඇතිවන විපත් අවම කරගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග තීරණය කරන්නේ අවදානම් තක්සේරුවකින් (risk assessment). මෙහිදී සිදු කෙරෙන තක්සේරුව සිදුවීමේ ස්වභාවය (ආන්තික හෝ ආවර්තිය) මත තීරණය වෙයි. ආන්තික සිද්ධීන් වලින් ඇතිවන ව්‍යසන අවම කරගැනීම සඳහා දීර්ඝ කාළීන සහ ප්‍රමුඛත්වයෙන් පහළ විසඳුම් අවදානම් තක්සේරුව සිදු කරන මෘදුකාංගය ලබා දෙයි. ආවර්තිය සිදුවීම් සඳහා වැඩි ප්‍රමුඛතාවයකින් යුත් කෙටි කාලින මෙන්ම දීර්ඝ කාලින සැලසුම් අවශ්‍යවේ.

සංසිද්ධීන් නියම ආකාරයෙන් හඳුනාගැනීමේ වැදගත්කම එයයි. 



Sunday 28 May 2017

ගං වතුරෙන් ගැලවීමක් නැද්ද .... මේ ඉහළ සිට පහලට සිටින ඇත්තන්ට



ලංකාවට ගං වතුර අලුත් දෙයක් නොවේ. හරියටම මීට වසරකට පෙරද දරුණු ජල ගැලීමක් රට තුල සිදුවිය. එවන් වාතාවරණයක් පවතින රටක් දිගු කාලීන විපත් අවම කරගැනීමේ වැඩ පිළිවෙලකට යා යුතුව ඇත. පමා වී හෝ දැන් එය කල යුතුව තිබේ.

"ස්වභාවික විපත් (natural disaster)" කියා දෙයක් නැත. ඇත්තේ ස්වභාවික ආන්තික සිදුවීම් (natural extreme events) සහ මානව විපත් (human disasters) යන සංසිද්ධි දෙකයි. ස්වභාව ධර්මයේ නිරන්තර වෙනස් කම් සිදුවේ. සමහර වෙනස්කම් සිදුවන්නේ කලාතුරකිනි. වසර 2004ට පෙර ලංකාවේ වැසියන් සුනාමියකට මුහුණ දී තිබුණේ වසර 500 කට වඩා ඈත අතීතයේය. ඒ පෘතුගීසීන් මුහුදුබඩ පෙදෙස් අත්පත් කරගෙන සිටින සමයේය. ඊට පෙර ඒ පිළිබඳව ලියවෙන්නේ විහාරමහා දේවියගේ යුගයේය. ඒ වසර දෙදහසකට පමණ පෙරදීය.  මේවා අපි ආන්තික සංසිද්ධි ලෙස හඳුන්වමු. ගං වතුර ඊට වඩා වැඩි සම්භාවිතාවයකින් ලංකාවේ ඇතිවන ආන්තික සිදුවීම්ය. 

අරණායක කන්ද නාය ගියේ මිනිස් වාසයක් යට කරගෙනය. එම ප්‍රදේශයේ මිනිසුන් පදිංචිව නොසිටියා නම් එය ස්වභාවික ආන්තික සිදුවීමක් පමණකින් කෙලවර වන්න තිබුණි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස එය මානව විපතක් බවට පත් විය. ස්වභාවික ආන්තික සිදුවීම් වළක්වාලීම සැහෙන අපහසු කර්තව්‍යයකි. එහෙත් මානව විපත් අවම කරගැනීමට හැකියාව ඇත. නැතිනම් අපි හැකියාවක් ඇතිකරගත යුතුය. 

ජල ගැලීම් විපත් අවම කරගැනීම පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන්ට 2016 සිදුවීම ඉතා වටිනා දත්ත සමුහයක් කරගත හැකිව තිබුණි. ඒ තුලින් නිසි පියවර පිළිබඳව වගකිව යුත්තන් දැනුවත් කර තිබුණි නම් මෙවර ගං වතුරේ ප්‍රතිඵල වෙනස් වන්න තිබුණා යයි අපට සිතෙයි.

ජල ගැලීමක විපත් අවම කරගැනීම සඳහා කරුණු රාශියක එකතුවක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් නිවර්තන සහ උපනිවර්තන කලාපීය රටවල දේශගුණය පිළිබඳව අනාවැකි පළකිරීම තරමක් අපහසුය. ඊට හේතුව දේශගුණයේ හැරුම් ලක්ෂ තීරණය කරන පරාමිති විශාල ප්‍රමාණයක් තිබීමයි. එහෙත් මේ සඳහා මේ වන විට පරිඝනක වැඩසටහන් සහ මෘදුකාංග රාශියක් බිහිවී ඇත. මෙම මෘදුකාංග මිළ අධිකය. එබැවින් වඩාත් උචිත වන්නේ අප රටට හෝ කළාපයට වඩාත් ගැලපෙන මෘදුකාංගයක් නිපදවීමයි. මේ සඳහා අපට මෘදුකාංග විශේෂඥයන් ඕනෑතරම් ඇත. එමෙන්ම අප රටේ සිටින හෝ වෙනත් රටවල සේවය කරන ලාංකික කාලගුණ විද්‍යාඥයන්ගේ දැණුම මේ සඳහා යොදාගත හැක. අවශ්‍යවන්නේ මේ දෙපිරිස එකතුකර කාර්යයට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපාදන සැළසීමයි. පෞද්ගලිකව මගේ මතය වන්නේ මේ සඳහා පසුගිය දශක කිහිපයක සිට කලාපීය දේශගුණ රටාවන් පිළිබඳව මහා පරිමාණයේ පර්යේෂණ පවත්වන ඉන්දීය විද්‍යාඥයන්ගේ සහයෝගය ගතයුතු බවයි. කලාපීය සහයෝගයෙන් තොරව දේශගුණික විපර්‍යාස පිළිබඳව පර්යේෂණ පැවැත්වීම උගහටය. 

ඉහත සඳහන් මෘදුකාංගයක් මගින් ඉදිරි වසර, වසර දහය, විස්ස, පනහ වැනි කාල වකවානු සඳහා ඇතිවිය හැකි ආන්තික වර්ෂාපතනයන් පිළිබඳව අනාවැකි පලකළ හැක. අපගේ ගං වතුර විපත් අවම කරගැනීමේ සැලැස්ම ගොඩ නැගිය යුත්තේ මේ අනාවැකි මතය.

ඊළඟ මෘදුකාංගය වර්ධනය කල යුත්තේ ඇතිවන ආන්තික වර්ෂාපතනයකදී දිවයිනේ ඒ ඒ ප්‍රදේශවල ඇතිවිය හැකි උපරිම ජල  මට්ටම්වල ව්‍යාප්තිය ගණනය කිරීමටයි. මේ සඳහා භූ තොරතුරු පද්ධති (GIS) දත්ත උපයෝගී කරගත යුතුය. වසර 2016 දී අපි ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂමේ (NASTEC) අනුග්‍රහයෙන් ස්වභාවික ආන්තික සිදුවීම් වල බලපෑම අවම කරගැනීමේ ප්‍රතිපත්ති පිළිබඳව ජාත්‍යන්තර සමුළුවක් ලංකාවේ පැවැත් වීමු. මෙයට සහභාගී වූ මැලේසියානු විශේෂඥයා (මහාචාර්ය බිස්වජිත් ප්‍රධන්) කියා සිටියේ මේ කටයුත්ත ලංකාවේ ආරම්භ කරනවා නම් මැලේසියාවේ පුර්ණ සහයෝගය පර්යේෂණ මට්ටමින් ලංකාවට ලබා දීමට ඔවුන් කැමති බවයි. නමුත් ලංකාවේ කිසිවෙකු මේ සඳහා තවමත් ඉදිරිපත් වී නැත.

මෘදුකාංගයෙන් ජල මට්ටම් විශ්ලේෂණය කල පසු කලයුතු ඊළඟ කාර්ය නම් එය අවම කරගැනීමේ පියවර ගැනීමයි. මේ සඳහා ජල පිටාරක මාර්ග (water egress) ඇතිකිරීම හෝ පිළිසකර කිරීම, පහත් බිම් සැකසීම, ගංගා නිම්න සංවර්ධනය කිරීම, ජල පාලක සහ තාවකාලික රඳවන සැදීම ආදී පියවර රාශියක් ඇත. 



මැලේසියාවේ ක්වාලාලම්පුර් නගරයේ ඇති බුහුටි උමග (smart tunnel) මේ සඳහා හොඳ උදාහරණයකි. කිලෝ මීටර 9 ක් පමණ දිගින් යුත් මෙම උමග කොටස් තුනකින් යුක්තය. ඉහල මාල දෙක උපයෝගී කරගන්නේ වාහන දෙපැත්තට යාම සඳහා වන මාර්ග ලෙසටයි. යටම මාලය නගරයට වැටෙන වර්ෂා ජලය එක්රැස් වන සුවිසල් ටැංකියක් ලෙස ක්‍රියා කරයි. ලංකාවටත් වඩා ඉහල වර්ෂාපතනයක් ලැබෙන මැලේසියාවේ, ක්වාලාලම්පුර් නගරය දැඩි රථවාහන තදබදයක් සහිත එමෙන්ම ගං වතුරෙන් නිතර බැටකන ප්‍රදේශයක් විය.   මෙම බුහුටි උමග ඉහත ගැටළු දෙකටම එකවර විසඳුම් සැපයිය. 



මෘදුකාංගයක ඇති වැදගත්කම නම් යොදන පිළියමින් ඇතිවන තත්වය කල් තබා ගණනය කිරීමට ඇති හැකියාවයි. මේ නිසා යෙදිය හැකි විවිධ උපක්‍රම සහ ඒ සඳහා යන වියදම් ව්‍යාපෘතිය සැළසුම් කිරීමටද පෙරම දන ගත හැක. ලංකාවේ මෙතෙක් කිසිඳු අවධානයක් යොමු නොවූ කරුණක් ලෙස මේ පුර්ව විශ්ලේෂණය සඳහන් කල හැක. 

ඉහත ක්‍රියාකාරකම් වලින් ගං වතුර උපද්‍රව අඩු කරගත හැක. එහෙත් එමගින් මානව විපත් ශුන්‍ය කරගැනීමට හැකි නොවේ. ඊට පෙර සුදානමක් සහ මනා විපත් කළමනාකරණයක් අවශ්‍යවේ. මේ සඳහා ඉදිරියෙන්ම ඇති විසඳුම තාක්ෂණයයි.  අප නොයෙක්වර මේ පිළිබඳව අදහස් පළකර ඇත. 

ගං වතුර කළාපයක (flood plain) පදිංචි ජනතාව සඳහා උභයජීවී නිවාස (amphibious houses) ලබා දීම ඉක්මණින් ඇති කල යුතු ව්‍යාපෘතියකි.  නිතර ගං වතුරට ලක්වන ප්‍රදේශවල පහත සඳහන් පියවර වහා ගත යුතුය.

සියලු ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වලට ඩිංගි බෝට්ටු සහ හුළං පුරවන යන්ත්‍ර ලබා දීම. මෙය නිවාස මට්ටමින් කල හැකි නම් ඉතා අගනේය.

සියළු පාසල්වල ගං වතුර සහ නාය යාම් අවස්ථාවලදී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම. මෙය පංසල් සහ දේවස්ථාන වලද ක්‍රියාත්මක  කල හැකි නම් ඉතා අගනේය. 

නාය යාමට ඉඩ ඇති උස් බිම් හඳුනාගෙන පදිංචි කරුවන් ඉවත් කිරීම (සුදුසු ආදේශක සහිතව) හෝ නාය යාම වැලැක්වීම සඳහා රඳවා තබා ගැනීමේ බිත්ති (retention walls) ඉදිකිරිම. මෙම පියවර දෙකම අධික වියදම් සහ ගැටළු සහගත කාර්යයන් බැවින්, අඩුම ගණනේ අන්තරායකර නිවාසවල පදිංචි කරුවන්ට නාය යාමක පුර්ව ලක්ෂණ හඳුනාගැනීම පිළිබඳව පුහුණු සැසියක් ගම් මට්ටමින් පැවැත්වීම. 

ගං වතුර බැස යන්නේ ව්‍යසන රාශියක් ඉතිරි කරමිනි. පස බුරුල් වීම, වගා පාලු වීම, පානීය ජලය අපවිත්‍ර වීම මින් කිහිපයකි. විශේෂයෙන්ම කලින් නාය යාමක් ගැන අවධානය යොමු නොවූ උස් බිම් පිළිබඳව දැන් සලකා බැලිය යුතුව ඇත. එසේම අධි වේගී මාර්ගවල පාර පස් පුරවා ඉහලට එසවූ කොටස්වල ගිලා බැසීම් (sink holes) ඇතිවීමට ඉඩකඩ ඇත.  

මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙයි. 




Thursday 11 May 2017

A meal for who needs a meal...


දානේ 




මැලේසියාවේ කිසිවෙක් බඩගින්නේ නැත. මෙය මම ස්ථිරවම කියමි. ඊට හේතුව මැලේසියානුවෝ දානමය පුණ්‍යකර්මය පිළිබඳව දක්වන උනන්දුවයි. එය වසරේ දින 365 පුරාම ඇති හැඟීමකි. 

"සුප් කිචන්" ගැන ඔබ ගූගල් සෙවුමක් කර බලන්න. මැලේසියාව පුරාම ව්‍යාප්තව ඇති මෙම ස්වෙච්චා ආයතන දිනකට කෑම පැකට් දහස් ගණනක් ආහාර අවශ්‍යය අය අතර බෙදා දෙයි. මෙම ආහාර පතක ඇත්තේ ලංකාවේ ප්‍රමිතියෙන් දුගී මගී යාචකයන්ට දෙන කෑම වේලක් නොවේ. බත් හෝ නූඩල්ස්, විශාල ප්‍රමාණයේ කුකුල් මස් කැබැල්ලක් හෝ මාළු පෙත්තක් සහ එළවලු කිහිපයකි. 

මුදල් ලබා දීමේ, කෑම සකස් කිරීමේ,  සහ කෑම ලබා ගැනීමේ කාර්ය සඳහා ජාතිය, ආගම, දේශපාලනය හෝ වෙන කිසියම්ම භේදයක් අදාළ නොවේ. 

ආහාර ලබා ගැනීමට ඇති එකම සුදුසුකම ආහාර අවශ්‍යතාවය පමණකි. 

මෙම ආහාර ලබා දීමේ ක්‍රියාවලිය කෙරේ මහජනතාවගේ දායකත්වය කෙතරම්ද යත් වසර 2014 දී සකස් කරන කෑම වැඩිවී අපතේ යාම හේතුවෙන් රජය මැදිහත් වී සුප් කිචන් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු විය.  

මේ කෑම ලබාදීම සඳහා දායකත්වය දෙන්නේ කවුරුද කියා කිසිවෙක් කියන්නේ වත් සොයන්නේ වත් නැත. ඒ  තම පියා හෝ දුව හෝ අසල්වාසියා විය හැක. 


දැන් ඔබටත් සිතන්න යමක්..............