Tuesday 20 December 2016

නුවණක්කාරයාගේ පරිත්‍යාගය හෙවත් ව්‍යාපාරික ආයෝජනය



එක්දහස් නවසිය හැත්තෑව අග භාගයේ අපිට රුපවාහිණි සංස්ථා සංකීර්ණය ලැබුණි. ඒ ජපානයේ පුර්ණ පරිත්‍යාගයක් ලෙසටයි. එවකට සිටි යූ එන් පී  කාරයෝ මහත් අභිමානයෙන් කියා සිටියේ නවසිය පනස් ගණන් වල ජේ ආර් ජයවර්ධන මහතා ජාත්‍යන්තර සමුළුවකදී ජපානය වෙනුවෙන් කී "නහී වේරෙන වෙරාණී..." කතාවක් නිසා ජපනුන් මහත් ආදරයෙන් අපට මෙය පරිත්‍යාග කල බවයි. 

ඒ රුපවාහිනී යන්ත්‍ර නිෂ්පාදන තාක්ෂණය ජර්මානුවන්ගේ අතින් ජපනුන්ගේ අතට හුවමාරු වෙමින් තිබූ කාලයයි. අපට රුපවාහිනී සංස්ථාව ලැබී ඊළඟට ගතවූ වසර දහය තුල ජපන් රූපවාහිනී යන්ත්‍ර ලක්ෂ ගණනක් ලංකාවට ආනයනය විය. ජපන් රජයේ අනුග්‍රහයෙන් රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ පාඨමාලාද එකල පැවැත් වුනි. වසර කිහිපයකින්, රුපවාහිනී සංස්ථා පරිත්‍යාගය මෙන් කිහිප ගුණයක් ජපනා ලාබ ලබන්න ඇත. වසර 35ට පසුත් තවමත් වැඩිපුරම රුපවාහිනී යන්ත්‍ර ලංකාවට පැමිණෙන්නේ ජපානයෙනි. අපි රුපවාහිනියකට සවි කරන ඇණ මුරිච්චියක්වත් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැත.

එක්දහස් නවසිය පනස් ගණන් වල අත්සන් කෙරුණු චීන-ලංකා රබර්-සහල් ගිවිසුම එවකට මෙම රටවල් දෙකම මුහුණ දී සිටි ආර්ථික අර්බුදයට අස්වැසිල්ලක් විය. කිහිප විටක් අවලංගු වෙමින්, ප්‍රතිෂ්ඨාපනය වෙමින් පැවති මෙම ගිවිසුම 70-77 සමගි රජය සමයේදී පුළුල් තලයක නැවත අත්සන් කරන ලදී. අපට චීනෙන් හාල් ලැබුණු අතර අපේ රබර් චීනයට ගියේය. එවකට සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ආඩම්බරයෙන් කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමාජවාදයට බර නිවැරදි ප්‍රතිපත්ති වලට පැහැදී චීනය අපිට මේ මහඟු අවස්ථාව ලබා දුන් බවයි.

ඒ ස්වභාවික රබර් වෙනුවට ඊට වඩා තත්වයෙන් බොහෝ සේ ඉහළ කෘතීම රබර් වෙළඳ පොලට හඳුන්වා දෙමින් සිටි යුගයයි. අපි චීනෙන් සහල් ලැබෙන බැවින් සහල් නිෂ්පාදන තාක්ෂණය වැඩි දියුණු කිරීමට වෙහෙස නොගත්තෙමු. චීනා හැමදාම රබර් ගනීවි යයි සිතමින් තව තවත් රබර් වවා ඊට කිසිඳු අගය එකතු කිරීමක් නොකර චීනයට පැටෙව්වෙමු. අද අපිට රබරුත් නැත, සහලුත් නැත. චීනය අද සහල් නිපදවීම අතින් ලෝකයේ පළමු තැනය. රබර් නිෂ්පාදන අතින්ද ඔවුන් ලොව ඉදිරියෙන්ම සිටියි.


මේ ගැන ලියන්න මට සිතුණේ "චීනාගේ ණය: උගන්ඩාවෙන් කථාවක්" නමින් මා ලියු ලිපියකට පෞද්ගලික ලැබුණු අදහස් කිහිපයක් සහ පලවූ කොමෙන්ටු කිහිපයක් කියවීමෙන් පසුවයි.

බොහෝ දෙනෙක් එක්කෝ චීනයට දොස් පවරා තිබුණි. නොඑසේ නම් චීනයට මා දොස් පැවරුවා යැයි උපකල්පනය කර මට දොස් පවරා තිබුණි. සමහරු කාට දොස් පවරන්නදැයි සිතාගත නොහැකිව අන්ද මන්ද වී සිටි සේයකි. 

ඇත්තෙන්ම අදහස් දැක්වූ බහුතරයකට සිදු වී තිබුණේ පොදු අතපසු වීමකි. සිද්ධිය දෙස විවෘත මනසකින් බලනවා වෙනුවට, ඔවුන් කරන්නේ මේ සිද්ධියේදී තමා කරගසා ගත් හෝ වලදමා පස්වලට යට කරන්න හදන දේශපාලකයාගේ ප්‍රතිරූපයට සිදුවන දේ අනුව තම දැක්ම සකස් කරගැනීමයි. 

ලිපිය පැහැදිලිව කියෙව්වා නම් ඔබට අවබෝධ විය යුතු යයි මා සිතන්නේ මෙම අවාසනාවන්ත තත්වයට චීනය වගකිව යුතු නොවන බවයි. වැරැද්ද ඇත්තේ උගන්ඩාවේ මෙන්ම අපේ රටේද දේශපාලුවා අතයි. මෙම සංසිද්ධියේ ඇති අපුර්වත්වය නම්  දේශපාලකයන් ඔසවා ගත් කිසිවෙකුටත් තමාගේ එකා සුද්ධ කර අනෙකාගේ වතෙහි මඩ තැවරීමට නොහැකි වීමයි. මන්ද සියල්ලෝම එක වලේ මඩ නාන බැවිනි.

ලෝකයේ කිසිඳු රටක් තව රටකට ප්‍රේමාන්විත හදවතින් යමක් ලබා නොදෙයි. සියළු පරිත්‍යාගවල මිලක් සලකුණු කර ඇත. අප කළ යුත්තේ පරිත්‍යාගය ප්‍රතික්ෂේප කිරීම නොව සලකුණු කල මිළ පිළිබඳව සැලකිලිමත් වීමයි. පරිත්‍යාගයක් බැවින් අපට මිළ නොගෙවා සිටීමට හැකියාව තිබේ.

ජපනා රුපවාහිනී සංස්ථාව ලබා දෙන විට, ඊළඟට එළඹෙන දශක කිහිපයේදී ලංකාවේ රුපවාහිනී යන්ත්‍ර කීයක් අළෙවි වෙත්දැයි අපගේ පාලකයන් හෝ අඩුම ගණනේ පෞද්ගලික අංශයවත් සිතුවා නම්? සුළුවට හෝ රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය ඇරඹුවා නම්? අඩුම ගණනේ රුපවාහිනී යන්ත්‍ර සඳහා අමතර කොටස් හෝ නිෂ්පාදනය කිරීමට උනන්දු වුවා නම්? 

"නම්" වැලකි.

නමුත් අපගේ ව්‍යාපාරික ප්‍රජාව සිතුවේ ඉහළම ලාභයක් තමාට ලැබෙන සේ ජපානයෙන් රුපවාහිනී යන්ත්‍ර ආනයනය කරන ආකාරය පිළිබඳවයි. ලංකාවට වඩා ඉතා කුඩා තායිවානය මෙන්ම දකුණු කොරියාවද මෙම ව්‍යාපාරයට අත ගැසුවේ ජපනා හදන රුපවාහිනියට අඩු මිළට අමතර කොටස් නිපදවීමෙනි. අද ඔවුන් ඔවුන්ටම කියා වෙළඳ පොළවල් බිහි කරගෙන ඇත. පසු කාලයක මැලේසියාව, තායිලන්තය වැනි රටවල්ද ඊට එකතු විය. අපි තාමත් එතැනමය.

චීනය අප සමග බලහත්කාරයෙන් ගිවිසුම් අත්සන් කලේ වත් අපට බලෙන් ණය දුන්නේවත් නැත. චීනයෙන් මෙන්ම IMF, WB හරහාද ණය ලබාගෙන ඉතා ඉහල සාර්ථකත්වයක් ලබා ඇති ව්‍යාපෘති ලොව බොහෝ ඇත.

ව්‍යාපෘතිය සාර්ථක වුවද අසාර්ථක වුවද චීනා සාර්ථකය. ව්‍යාපෘතිය සාර්ථක නම් ඔවුනට ලබා දුන් ණයට ඉහල පොලියක් සමග වාරිකය ලැබේ. එවිට ඔවුන් සාර්ථක බැංකු ව්‍යවසායකයන්ය. ව්‍යාපෘතිය අසාර්ථක නම් ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලසුම් ඔවුන් ක්‍රියාවට නංවයි. එයින් ඔවුනට ලැබෙන වාසි බොහෝමය. ව්‍යාපෘතියට ණය ඉල්ලන මුල් අවස්ථාවේම එහි සාර්ථක හෝ අසාර්ථක බාවය පිළිබඳව ඔවුහු නිගමනයකට පැමිණෙති. මේ සඳහා ඔවුනට ව්‍යපෘති යෝජනාව දෙස බැලීමටවත් වුවමන නැත. අවශ්‍යවන්නේ අදාළ රටෙහි සිටින දේශපාලුවන් පිළිබඳව දැනුමයි. 

කලක සිට වතපොතේ පල කරන සමහර පොස්ට් සහ කොමෙන්ටු දෙස බලන විට ඇතිවන්නේ හාස්‍ය මුසු දුකකි. අප රටේ බොහෝ දෙනෙක් සිතා ගෙන ඉන්නේ පට ජාත්‍යන්තර ප්‍රශ්ණයක් පැන නැගුන හොත් අරයා මෙයා "මාර" සපෝර්ට් එකක් දෙතැයි කියාය. එහෙත් තමන්ගේ ඇජෙන්ඩාවෙන් පිට ඔවුන් අඩුම ගණනේ වචනයකින්වත් වෙන රටකට සහයෝගය දෙන්නේ නැත. සමහර විට අහම්බෙන්, යම් දෙන ලද කාල පරාසයකදී අපි වෙනුවෙන් කතා කිරීම ඔවුන්ගේ ඇජෙන්ඩාවේ කොටසක් බවට විය හැක. එවිට අප සිතන්නේ ඒ අපේ ගැලවුම් කරු කියාය. මෙය මහා මුග්ධ කමකි.

මම පහත දැක්වෙන කරුණත් සමග මෙම ලිපිය අවසන් කරන්නම්.

මා යටතේ ආචාර්ය උපාධිය හදාරණ සිසුන් දෙදෙනෙකුම ඉරාකයේ මොසුල් ප්‍රදේශයෙන් පැමිණි අයයි. පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ මේ දෙදෙනා මා හමුවීමට පැමිණෙන්නේ හවස් වරුවේය. ඊට හේතුව ඔවුන් මැලේසියාවේ වේලාවෙන් පාන්දර 2-3 වනතුරු අවදිව සිටිමින් මොසුල් හි සිටින තම දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් පිළිබඳව විපරම් කිරීමයි. ඔවුන්ගේ මුහුණුවල මා මේ දිනවල නිරන්තරයෙන් දකින්නේ බිය, සැක, සාංකාව, තැතිගැන්ම ආදී ඍණාත්මක හැගීම් සමුදායකි. 

ඔවුන් මා සමග බෙදාගත් තම ඥාතීන්ගේ අත්දැකීම් කිහිපයක් මම මෙලෙස ලියා තබමි.


මොසුල් ප්‍රදේශයේ සිටින ISIS කැරළි කරුවන් දරුණු ඝාතකයන්ය. ඔවුන් ලේ පිපාසිතව දහස් ගණනක් වැසියන්ව මරා දමයි. එම ප්‍රදේශයෙන් ISIS හමුදා ඉවත් කිරීමට ඉරාක රජයේ හමුදා ගොඩබිමින් සටන් කරන අතර ඇමරිකාව ප්‍රමුඛ යුරෝපිය හමුදා ගුවන් ප්‍රහාර එල්ල කරති. ඒ මුවාවෙන් විදේශ හමුදා වැඩි පුරාම කරන්නේ එහි ඇති ගොඩනැගිලි වලට පහර දීමයි. 

තට්ටු 20ක බිල්ඩිමක සැගවී, එක් ISIS ස්නයිපර් තුවක්කු කරුවෙක් වෙඩි පහර එල්ල කරයි. ගොඩ බිමින් සටන කරන ඉරාක රජයේ හමුදා ඇමරිකන් කඳවුරට පණිවිඩ යවමින් කියා සිටින්නේ එම ස්නයිපර් තුවක්කු කරු ඊළඟ විනාඩි 20-30 ඇතුලත තමන්ට මරා දැමිය හැකි බවයි. එහෙත් විනාඩි පහක් යන්න මත්තෙන් පැමිණෙන ඇමරිකන් ප්‍රහාරක යානා එම ගොඩනැගිල්ල බිමට සමතලා කර දමයි. එක් ISIS සෙබළෙක් පාලමක් උඩ ඇවිදගෙන යාම මුළු පාලමම විනාශ කර දැමීමට ඇමෙරිකන් හමුදාවලට හේතුවකි. 

මෙහෙම කරන්නේ ඇයි? 

පිළිතුර ඉතා සරළය. තව මාස කිහිපයකින් යුද්ධය නිම වනු ඇත. සුන්බුන් බවට පත් වූ ඉරාකයක් ඉතිරි වනු ඇත. පාදමේ සිට නැවතත් මෙම සුවිසල් ගොඩනැගිලි, ඒ තුල තිබිය යුතු උපකරණ ආදී සෑම දෙයක්ම ඉදි කල යුතු වනු ඇත. ඒ සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල කොන්ත්‍රාත් කරුවෝ පැමිණෙනු ඇත. ඔවුන් සුවිසල් මහා නගර තනනු ඇත. පෙට්‍රෝලියම් සම්පතෙන් අනූන ඉරාකය මේ සඳහා ඩොලර් බිලියන ගණනින් ගෙවනු ඇත. ඒ මන්දිර, පාලම්, මහා මාර්ග අතර, අද දින මේ අනාගත ව්‍යාපාර වෙනුවෙන් මිය යන සුවහසක් දරුවන්ගේ, මව් වරුන්ගේ, පිය වරුන්ගේ හඬ නොඇසෙනු ඇත.

තව වසර ගණනකින් නැවතත් ව්‍යසනය එළඹෙනු ඇත. නැවතත් බටහිරයෝ සුන්බුන් අතරින් මහා නගර තනනු ඇත. මෙය නවසිය හැත්තෑ ගණන් වල සිට මැද පෙරදිගකට හුරු පුරුදු කතාන්දරයකි.

ලංකාවට මෙය සිදුවන්නේ නැත. මන්ද අපිට ඒ ගොඩනැගෙන මන්දිර වෙනුවෙන් ගෙවන්න සල්ලි නැත. සල්ලි එන්න තැනකුත් නැත.

නමුත් මගේ කතාව අවසන් වන්නේ මෙතනින් නොවේ. 

මෙම යුද්ධය පිළිබඳව කලක සිට ඇඹරෙමින් සිටි රුසියාව හදිසියේම පෙට්‍රෝලියම් සපිරි සිරියාවෙන් ISIS හමුදා ඉවත්කිරීමට ඉදිරිපත් වෙයි. සිරියාවේ මේ වනවිට සිදුවන ප්‍රහාරයන් සහ යූ ටියුබ් හි ඇති සිරියාවේ අලෙප්පෝ නගරයේ ඛේදවාචකය පෙන්වන ඩ්‍රෝන දර්ශන දුටු විට ඔබට පෙනෙයි කුමක්ද රුසියාවේ අරමුණ කියා?

මැද පෙරදිග සෞභාග්‍ය උලා කෑමට ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ට පමණක් නොව රුසියාවටද අයිතියක් ඇත. 




Thursday 8 December 2016

මා දුටු අවබෝධය


"පිංවතුනි අවබෝධ කරගන්න ලෝකයේ සියලුම දේ නැසෙන සුළු බව". 

යූ ටියුබ් වීඩියෝ පටයෙන් නැගෙන සෝම හිමිගේ ගැඹුරු හඬ මට ඈතින් ඇසෙන්නක් මෙනි. ටික වෙලාවකට මම ජීවිතයේ සැහෙන ඈත අතීතයකට ගියෙමි.

මා කුඩා කල ඉතා ලඟින් ඇසුරු කල මිතුරෙකු විය. මා සිතා සිටියේ ඔහු සදාකාලිකවම මගේ හොඳම මිතුරා වෙතැයි කියාය. අප එකම පාසැලට ගිය අතර ඒ ආගිය ගමන්ද එකටම කෙරුණි. පස් වන ශ්‍රේණියෙන් පසු අප දෙදෙනාගේම පාසැල් වෙනස් වූ අතර අපට යාමට සිදු වුයේද දෙපසකටයි. ඉන් පසු ඔහු වෙනත් කණ්ඩායමකට එක් වූ අතර අපගේ ඇසුර එකවරම දුරස් වී නැතුවම ගියේය. 

මේ ගැන මා ඉතා දුකෙන් පසු වූ අතර අපේ අම්මා දිනක් මා අමතා මෙසේ කීවාය.

"පුතේ ඔයාට මතකද අර ගිය පෝයට අපි සිල් ගන්නකොට නාරද හාමුදුරුවෝ කිව්වා මේ ලෝකේ හැමදේම වෙනස් වෙන සුළුයි කියල"
"ඔව් අම්මේ"
"ඔයාට ඒ කියපු දේ තේරුණාද?"
"ඔව් අම්මේ"
"එහෙනම් ඔයා ඇයි දුක් වෙන්නේ. ඔයාගේ යාළුවත් මේ ලෝකෙම කොටසක්. ඒක නිසා එයා වෙනස් වුණා. ඔයත් ඒ වගේම වෙනස් වෙයි. ඔය ටික ඔයා තේරුම් ගන්න ඕනේ".

මට නාරද හාමුදුරුවන් වගේම  අම්මා පැවසු දෙයද පැහැදිළිවම තේරුම් ගියේය. එහෙත් යහළුවා නැතිවූ දුක නම් කිසි සේත්ම අඩු නොවීය. ජීවිතයේ ගෙවුණු හැම දිනකම පාහේ මේ වෙනස් වීම මම අත්‍ දුටුවෙමි. මිනිසා, සතා සිව්පාවා, ගස් වැල්, මෙන්ම ගල්, වැලි, ලී, ප්ලාස්ටික් ආදී සියලුම සිත්පිත් නැති දේද කාලය සමග වෙනස් විය. ඒ තබා ද්‍රව්‍යමය පැවැත්මක් නොමැති සිතුම්, පැතුම්, හැගීම් පවා අතොරක් නොමැතිව වෙනස් වෙයි. එම වෙනස් වීම් මම මැනවින් තේරුම් ගතිමි. එහෙත් ඒ වෙනස්කම් ගෙන ආ සිනහව මෙන්ම කඳුලද මට පාලනය කරගත නොහැකි විය. වැරදුණේ නාරද හමුදුරුවන්ටද, අපේ අම්මටද, නැත්නම් මටද?

මේ දේ වටහා ගැනීමට මට අඩ සියවසකට ආසන්න කාලයක් ජීවත්වන්නට සිදු විය. 

ජීවිතයක සාර්ථකත්වය පිළබඳව ඉංග්‍රීසි බසින් ලියැවෙන මගේ ඊළඟ පොතෙහි අවසාන පරිච්ඡේද කිහිපය මිනිස් බැදීම් පිළිබඳව සංවාදයක් ගෙනහැර දැක්වීමට මම යොදා ගතිමි. ජීවිතයේ හමුවන අමිහිරි වෙනස් වීම් පිළිබඳව හා ඊට සාර්ථකව මුහුණ දිය හැකි ක්‍රමවේදයන් ගැන මම හදාරන්න වුනෙමි. මුලින්ම ජීවිතයේ මා ලද අත්දැකීම් විග්‍රහයට පාත්‍ර කලෙමි. 

මෙම කර්තව්‍ය මා එදිනෙදා යෙදෙන ඉංජිනේරු පර්යේෂණ කටයුතු වලට වඩා බෙහෙවින් අසීරු විය. එක් පරිච්ඡේදයක් වෙනුවෙන් මට වසරක කාලයක් ගතවිය. ඒ එය ලිවීමට නොව ඒ ගැන සිතීමටය. අන්තිමේදී මා වටහා ගත්තේ ඉතා සරළ වදන් පැටලීමක් නිසා ඊළඟට පියවර තැබිය යුතු මානසික ක්‍රියාවලියක් වෙත අප යාමට උත්සහ නොකරන බැවින් අපට තේරුම් ගත් දෙයින් ප්‍රයෝජන ගත නොහැකි වන බවයි. 

*******************************************

"තේරුම්" ගැනීම සහ "අවබෝධ" කර ගැනීම 

ඉහත වදන් දෙක අප සමාන තේරුම් ඇති වචන ලෙස බොහෝ විට භාවිත කරයි. එහෙත් කාලයක් මේ පිළිබඳව විශ්ලේෂණය කල විට මේ වදන් දෙක තරමක් වෙනස් වූ සංඛල්ප දෙකක් ප්‍රකාශ කිරීමට යොදා ගත හැකි බව මට වැටහුණි. 

තේරුම් ගැනීම යනු යමක් ඇති සැටියෙන් දැකීමයි. මෙම "ඇති සැටිය" ඇති සැටිය වන්නේ යම් රාමුවක් තුල පමණක් බවද කිව යුතුය. තමා යමක් ඇති සැටියෙන් දැක එය පිළිගැනිම (ධාරණය කරගැනීම) අවබෝධ කර ගැනීමයි. මේ අනුව අවබෝධ කරගැනීම, තේරුම් ගැනීමට වඩා පියවරක් ඉදිරියෙන් ඇත. ඒ පියවර කෙතරම් ඈතින් ඇත්දැයි තීරණය වන්නේ යම් කෙනෙකුගේ මානසික මට්ටම අනුවය. 

අප තේරුම් ගන්නා බොහෝ දේ එලෙසින්ම පිළිගැනීමට අප සුදානම් නැත. මේ නිසා අප හුඟක් දේවල් අවබෝධ කරගන්නේ නැත. 

ලබැඳියෙකුගේ වියෝව ලෝක ස්වභාවය ලෙස අපි තේරුම් ගනිමු. එහෙත් එවන් අවස්ථාවක එය පිළිගැනීමට අපි සුදානම් නොවෙමු. වෙනස් වන ලෝකයේ, ආදරය කරුණාව වැනි හැගීම් පවා වෙනස් විය හැකි බව අපි තේරුම් ගනිමු. එහෙත් එය එසේ සිදුවූ විට හැගීම්වල ස්වභාවය එසේ බව පිළිගැනීමට අපි මැලි වෙමු. තමාට සමීපතම ප්‍රියයකුගේ වෙනස් වීමකදී, එය එසේ සිදුවිය නොහැකි යයි ප්‍රතික්ෂේප කිරීමට පවා බොහෝ විට අපගේ සිත පෙළඹේ.  

එපමණක් නොව අදෘෂ්‍යමාන බලවේග, ඇදහිලි, දෙවියන් සහ ලෝකය මැවීම ආදී සමාජීය සහ ආගමික මතවාද පවා යථාර්තයන් නොවන බව අප බොහෝ දෙනෙක් අද පවතින විද්‍යාත්මක රාමුව තුල පැහැදිලිවම තේරුම් ගෙන ඇතැයි මම සිතමි. එහෙත් තමා කුඩාකල සිටම සිරවූ අනෙකුත් රාමු තුළින් එලියට විත් මෙම යථාර්ථයන් අවබෝධ කරගැනීමට බොහෝ දෙනෙක් සුදානම් නැත. 

මේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තත් එය අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව නිසා අපි අපේ සිතේ ඇති සන්සුන් බව සහ සැනසීම නැති කරගනිමු. 

අවශ්‍යතාවයක් ඇත්නම්, යමක් තේරුම් ගැනීම බොහෝ විට පහසුය. වැඩි දෙනෙකුට යමක් තේරුම් ගත නොහැක්කේ, තේරුම් ගැනීමේ ඇති සංකීර්ණ බව නිසා නොව තේරුම් ගැනීමට ඇති අකමැත්ත හෝ වුවමනාවක් නැති කම නිසාය. එහෙත් තේරුම් ගැනීමේ සිට අවබෝධය කරා පියනැගීම සංකීර්ණ මානසික ක්‍රියාවලියකි. එය ප්‍රථම වරට කිරීම අපහසුය. ඒ සඳහා යම් පුරුදු / පුහුණු වීමක් අවශ්‍යය. එහෙත් වරක් අවබෝධ කරගත් පසු එය නැවත නැවත කිරීම අපහසු නැත. 

සියළුම දේ වෙනස් වන බව අවබෝධ කරගත් විට සිතට දැනෙන්නේ ඉතා සැනසිලිදායක සැහැල්ලුවකි. සෝම හිමි මෙන්ම නාරද හිමිද දේශනා කරන්න ඇත්තේ මේ අවබෝධය ගැනයි.