Friday 13 May 2016

Lightning and Mobile Phone



ජංගම දුරකථන සහ අකුණු

අකුණක් යනු වලාකුළක සිට පහතට පැමිණෙන ආරෝපණ ධාරාවක් පොළවේ ඇති යම් වස්තුවක් හරහා භූගත වීමයි. එබඳු ධාරාවක් ගලා යන වස්තුව අකුණු පහරකට ලක් වුනා යයි කියනු ලැබේ. මෙම ධාරාව ඉතා කෙටි කාලයකදී ගැලුවත් එහි තිව්‍රතාවය ඉතා අධික බැවින් (සාමාන්‍ය ගෘහ පරිපථයක ගලන ධාරාව මෙන් 3000 ගුණයකින් පමණ විශාල) අකුණු ප්‍රහාරයට ලක්වන යමක් විශාල හානියකට පත්විය හැක.

මෙහිදී පොළව කරා පැමිණි ආරෝපණ ධාරාව කුමක් හරහා භූගත වේදැයි තීරණය කරන්නේ ආරෝපණ ධාරාව පොළවේ සිට මීටර් 50-100 පමණ ඉහල ඇති විටයි.

යමකට අකුණක් වදින ඉඩකඩ වැඩිවීමට ප්‍රධාන කාරණා හතරක් බලපායි.

එනම් එහි උස; සාමාන්‍යයෙන් උස වැඩි යමකට අකුණු වදින ඉඩකඩ වැඩිය.
එහි සන්නායකතාවය; සන්නායකතාවය අධික ලෝහ කුළුණු වැනි දෙයට අකුණු වදිනවා වැඩිය.
එහි තියුණු තුඩු සහ දාර තිබීම; එවැනි වස්තුවකට අකුණු වැදීමට ඇති ඉඩකඩ වැඩිය.
ඒ අවට පසෙහි සන්නායකතාවය; පසෙහි සන්නායකතාවය වැඩි නම් අකුණු වැදීමට ඇති ඉඩකඩද වැඩිය.

මිනිසෙක් අකුණු පහරකට ගොදුරු වීමටද ඉහත සාධක බලපායි. මෙහිදී ඔහු අත තිබෙන ජංගම දුරකතනයක්, ලෝහ භාණ්ඩයක් හෝ ඔහු පැළඳ සිටින වස්ත්‍රයේ ඇති ලෝහ කොටසක් නිසා අකුණක් වැදීමේ සම්භාවිතාවය වැඩි වීමට කිසිඳු ඉඩකඩක් ඇතැයි ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාධක නොමැත. මෙහිදී ජංගම දුරකථනය සන්නිවේදනයෙහි නිරත වුවාද නැත්ද යන්නද බල නොපායි.

අනාරක්ෂිත නිවෙසක් තුල හෝ ගසක්, උස කුළුණක් වැනි යමක් ආසන්නයේ සිටින අයෙකුට එම වස්තුවට වදින අකුණක පැති ප්‍රහාරයක් වැදිය හැක. මෙබඳු අවස්ථාවක අකුණු ධාරාව අසල සිටින්නාගේ සිරුර මතට ප්‍රගමනය වන්නේ කෙටි විද්‍යුත් පුලිඟුවක් ආකාරයෙනි. උදාහරණයක් ලෙස නිවසකට අකුණක් වැදුණු විට බිත්ති දිගේ ගලන අකුණු ධාරාවෙන් කොටසක් අසල සිටින පුද්ගලයකුගේ හිසට විද්‍යුත් පුලිඟුවක ආකාරයෙන් පැනිය හැක. අකුණු සහිත කාලගුණයක් පවතින විට අකුණු ආරක්ෂණයෙන් තොර නිවසක සිටින අයෙක් බිත්තිවලින් මීටර් 2 ක් වත් ඈත්වී සිටින ලෙස උපදෙස් දෙන්නේ එබැවිනි.


මෙහිදී අකුණු පැති පහර වැදීමට ඇති ඉඩකඩ වැඩිවීමට තම සිරුර හා සම්බන්ධව ඇති ලෝහමය කොටසක බලපෑමක් ඇත්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් දීමට තරම් පරීක්ෂණ තවමත් සිදු කර නොමැත. එහෙත් මිනිස් සිරුරේ ප්‍රමාණය සහ සන්නායකතාවය හා සසඳන කල ජංගම දුරකතනයක ඇති ලෝහ කොටස් වලින් මේ සඳහා බලපෑමක් ඇතිවේ යැයි  සිතීමට තරම් විද්‍යාත්මක සාධක නොමැත.

කෙසේ නමුත් බල ගැන්වීම සඳහා (charging) නිවසේ විද්‍යුත් පරිපථයට සම්බන්ධ කල ජංගම දුරකතනයක් භාවිත කිරීම අකුණු සහිත කාලගුණයකදී බොහෝ අහිතකර ප්‍රතිඵල ලබාදිය හැකිය. දුරකථනය භාවිත නොකලත් එවැනි අවස්තාවක දුරකථනයට හානිකර තත්වයක් ඇතිවිය හැකි බැවින් අකුණු සහිත පරිසරයක ඔබේ ජංගම දුරකථනය බලගැන්වීම සඳහා එය නිවසේ විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමෙන් වළකින්න.

මේ අනුව අකුණු සහිත පරිසරයක වයර් මගින් ඇති සම්බන්ධයකින් තොර ජංගම දුරකතනයක් භාවිත කිරීමේ කිසිඳු ආන්ත්‍රාවක් ඇතැයි මට නම් නොහැඟෙයි.

එහෙත් බොහෝ දෙනෙකුගේ මතය වන්නේ අකුණු සහිත කාලගුණයකදී ජංගම දුරකථන භාවිතය නොසුදුසු බවයි. මේ සඳහා ඔවුන් උදාහරණ ලෙස ජංගම දුරකථන භාවිතා කරන අතර අකුණු ප්‍රහාරයන්ට ලක්වූ කිහිපදෙනෙකුගේ තොරතුරු ලබාදෙයි. මා ඔවුන්ට ලබා දෙන සරළම පිළිතුර වන්නේ අද සමාජය ජංගම දුරකථන භාවිතා කරන ප්‍රවණතාවයේ හැටියට දුරකථන සංවාදයක නොයෙදෙන අයෙකුට අකුණක් වැදීම නම් පුදුමයට කරුණක් විය හැකි බවයි.


Chandima Gomes
Professor of Electrical Engineering, Universiti Putra Malaysia
Former Head, Center for Electromagnetic and Lightning Protection, Malaysia
Chief Adviser, African Center for Lightning and Electromagnetics, Uganda 

11 comments:

  1. With your credentials I guess on one can argue with this. Many merits for demystifying this

    ReplyDelete
  2. මට මතකයි මහාචාර්ය වර්නන් කුරේ මේ අදහසම දිවයින පුවත්පත සමග තිබුන සාකච්චාවේදී කියා තිබුනා.

    ඉතා උස විදුලි සංදේශ කුළුණු අසල අකුණු වල හැසිරීම කොහොමද ?

    ReplyDelete
    Replies
    1. I will write an article on this matter soon.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Many thanks for this valuable information. Better if you can give more statistics / research information on this too.

    ReplyDelete
  6. Logical arguments ! Well elaborated
    - Laksith Sirisena (Consulting Electrical Eng. at Amithi Power Consultants pvt Ltd)

    ReplyDelete
  7. ඔබ එහෙම කීවාට, කොහේ හරි මෝඩ පත්තරකාරයෙක් කීවානං ඒක අහන අය දැන් බොහොම වැඩියි.
    ඒ වගේ ම මේ ලිපිය පත්තරේ දැම්මත් ඒක අහල ඇත්ත පිළිගන්න අයත් දැන් බොහොම අඩුයි නෙමෙයි ඇත්තේ ම නැති තරම්.

    ReplyDelete
  8. අවදානමක් නැතුවාම නොවෙයි. ජංගම දුරකථනයේ ඇන්ටනාව මත විදුලි ආරෝපණ සෑදීමෙන් අභ්‍යන්තර පරිපථ වලට හානි සිදු විය හැක. මෙය ප්‍රමිතියෙන් අඩු ජංගම දුරකථන වල වැඩි සම්භාවීතාවයකින් ඇත.

    ReplyDelete
  9. නිවසක් අකුණු වැදීමෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද?

    ReplyDelete