Sunday 16 August 2015

වතපොතේ ගිනි තැබූ ඔබේ ප්‍රතිරූපය




වතපොතේ ගිනි තැබූ ඔබේ ප්‍රතිරූපය  




සංක්‍රාන්ති සමය නිමා කරමින් මැතිවරණයක් කැඳවිණි. ඉන්පසු ගෙවුණු සති කිහිපය තුල ඔබගේ වතපොතේ හැසිරීම පිළිබඳව හැරී බලන්නට දැන් හොඳම හෝරාවයි.


ප්‍රධාන පක්ෂ දෙකේම අභ්‍යන්තර කවයන්ගෙන් (inner circles) මට දැනගන්න ලැබුණේ සමාන කාරණාවකි. දෙපිලම වැටුප් ලබන, අරටුගත සාමාජිකයන්ගෙන් සමන්විත ප්‍රභල වතපොත හමුදා ක්‍රියාන්විත දියත් කර ඇත. ඔවුන් ව්‍යාජ වතපොත ගිණුම් රාශියක් අරඹා ඒ හරහා පිළිකුල් සහගත අපහාස, චරිත ඝාතන, අසත්‍ය තොරතුරු, සමහර විට ඉතා අසභ්‍ය ආකාරයෙන්, පළකරන්න විය.


එහෙත් ඔවුනට එක් ගැටළුවක් මතුවිය. මෙම ව්‍යාජ ගිණුම් වලට යහළුවන් විශාල පිරිසක් කෙටි කාලයකදී ඇතුලත් කරගැනීම උගහටය. එසේ කලත් එම පළකිරීම් කිසිවකුත් පිළිගනිතියි සිතිය නොහැක.


මේ සඳහා එක් පක්‍ෂයක් සාර්ථක ක්‍රමවේදයක් දියත් කල අතර අනෙක් පක්‍ෂය වහාම එය අනුගමනය කරන්න විය. වතපොතේ මිතුරන් රාශියක් සිටින, සමාජයේ නොයෙක් තරා තිරම් වල අයත් වූ, සැබෑ පුද්ගලයන් පිරිසක් තෝරාගෙන, ඔවුන් වෙත මේ පක්‍ෂ ලඟා විය. ඔවුනට රුපියල් 5000 සිට 150,000 පමණ දක්වා නොයෙකුත් මුදල් ප්‍රමාණ දීමේ පොරොන්දුව පිට, මෙම පළකිරීම් ෂෙයාර් කර ගැනීමට ඔවුන්ව පොළබවා ගන්න ලදී.


ඉන්පසු සිදුවුයේ අවාසනාවන්ත තත්වයකි. තම මිතුරන්ගේ පිටුවල මෙම පළකිරීම් ෂෙයාර් වී ඇති බව දුටු අනෙක් අය ඒවා තරගයට නැවතත් ෂෙයාර් කරගන්න විය. සමහර විට ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයුරින් සමහර වෛද්‍යවරුන්, සරසවි ඇඳුරන් සහ නිලධාරින්, ඉංජිනේරුවන් සහ වෙනත් වෘත්තිකයන්, ඉතා පහත් පෙලේ පෝසට් පවා තම පිටුවල පළකරගන්න වුයේ මේ ආකාරයෙනි.


තමා කැමති දේශපාලන පක්‍ෂයක් හෝ පුද්ගලයෙකු  වෙනුවෙන් මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියාට ඇති පරම අයිතිවාසිකමකි. එහෙත් එය කිරීමේදී තම වෘතිය, සමාජීය සහ ආත්ම ගරුත්වයේ සීමා මායිම් වලින් ඔබ්බට නොයෑමට තරම් ඔබ නැණවත් විය යුතුය. සමහරෙක් මේ ගැන නොසිතා තම ප්‍රතිරූපය අවාසනාවන්ත ලෙස කෙලෙසාගෙන ඇති බව පැහැදිලිව පෙනේ. රුපියල් ශත වෙනුවෙන් හෝ පක්ෂයකට නැත්නම් දේශපාලනඥයකුට ඇති අන්ධ භක්තිය වෙනුවෙන් මේ අය තම රැකියාවේ සහ සමාජීය ප්‍රතිරූපයේ අනාගතයට ගිනි තබා ගෙන ඇත.



මා මේ පවසන දේ ඔබට හෙට අනිද්දාට වැටහෙනු ඇත. සමාජයෙන් ඔබට නොයෙකුත් ගැරහුම් එල්ලවන විට, රැකියාවේ දහසකුත් ගැටළු මතුවන විට...... ඔබ ටොක්ක ඇන ගත යුත්තේ ඔබටමය 


*********

1 comment:

  1. පුද්ගලික මෙන්ම තාවකාලික වාසි වෙනුවෙන් කඩේ යන ඡන්ද දායකයා, ඔවුන්ම පිළිකුල් කරනවා යැයි කියන කූට දේශපාලන සංස්කෘතියේ ප්‍රධානතම කොටසක් නොවේද?

    ReplyDelete