Follow this Blog

Sunday, 17 November 2013

චීනගේ ණය: උගන්ඩාවේ කථාවක්






මේක උගන්ඩාවේ කතාවක් උනාට, පොත පතේ, ඉන්ටර්නෙට් එකේ තිබිල කියවපු දෙයක් වත්, තුන්වෙනි හතරවෙනි පාර්ශවවලින් දැනගත්ත එකක්වත් නෙවෙයි. කෙලින්ම අදාළ උගන්ඩා පාර්ශවයෙන් ටිකක් වැඩිපුර කාල බීල සතුටින් ඉන්න වෙලාවක අහගත්ත කතාවක්. 

උගන්ඩාවට ව්‍යාපෘති යෝජනා (project proposal) කිහිපයක් සකස් කරන්න මට මේ අවුරුද්දේ මුල හරියේ ඒ රටේ කරක් ගහන්න සිද්ධ වුණා. පොඩි දුරක් එහෙම නෙවෙයි, සතියක් විතර තිස්සේ කිලෝ මීටර් දාහක් විතර ඇවිද්දා (ඇවිද්ද කිව්වට ඉතින් වාහනෙකින් හොඳේ). 

රාජ්‍ය ව්‍යාපෘතියක් කිව්වම ඉතින් කට්ටිය වටවෙන්නේ කාක්කෝ වගේ, දන්නවනේ. ඕක ඉතින් කොහෙත් එහෙමයි. පළාත් සභා මන්ත්‍රීලගේ ඉඳල ඇමතිවරුන් දක්වා, එතකොට කොන්ත්‍රාත්කාරයෝ, පරිසරවේදියෝ, සමාජ සේවකයෝ, මිනිස් අයිතිවාසිකම් ගැන කතාකරන රණශුරයෝ ..... ඔය මොන නම් වලින් ආවත් එන්නේ එකම වැඩේට....

ගොඩක් අය මුලින්ම හිතන්නේ මම ණය දෙන්න ආපු කෙනෙක් කියල. මොකද පෙනුම ඉන්දියන්, නමට යටින් තියෙන්නේ රට මැලේසියාව කියල, ආවේ ගියේ රජයේ වාහනයකින්, අර විශාල ජීප් තියෙන්නේ, දිසාපතිලා එහෙම යන එන. අන්න කකින්. හැබැයි ටිකක් වෙලා කතා කරනකොට තේරෙනවා මේ කිසිම වැඩකට නැති, ව්‍යපෘති යෝජනා තනන්නෙක් කියල. ඒක තේරෙන්න කලින් අහගන්න දෙයක් අහගන්න ඕනේ. ඔන්න ඔහොමයි සෙල්ලම. 

ඉස්සර අපට පිටරට ණයක් කිව්ව ගමන් ඔලුවට එන්නේ එක්කෝ ලෝක බැංකුව එහෙම නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (සිංහලෙන් කියනවනම් IMF එක). කවදත්, විපක්ෂයේ ඉන්න අයට (අර කොමාව හරි වැදගත් හොඳේ) ඔය දෙක තරම් රටට ද්‍රෝහී, සමාජ විරෝධී ආයතන ලෝකේ වෙන නැහැ. සමහරු ප්ලග් ගලවන්නත් කතා කලේ විපක්ෂෙ ඉන්නකොට නේ. 

කථාව ඔන්න වෙන පැත්තකට ගියා. මම අර උගන්ඩාවේ ඇමති තුමාලගෙන් ඔය ආයතන දෙකෙන් දෙන ලෝන් ගැන ඇහුවම ඒගොල්ලන්ගේ මුණු ටිකක් හපුටු වුනා. ව්‍යපෘති යෝජනා, ප්‍රගති වාර්තා, ගිණුම් වාර්තා, වැඩ බැරි වුනාට හේතු සාධක, අරව මේව කෝටියක් ලියකියවිලි හදන්න ඕනෙලු. මාස තුනෙන් තුනට කට්ටිය ඇවිල්ල බලනවලු ප්‍රගතිය කොහොමද කියල. ඒ මදිවට රටේ මානුෂික අයිතිවාසිකම්, රට පාලනය කරන හැටි, ඒවා මේවා හැම එකටම ඇගිල්ල ගහන්න එනවලු. මේ නිසා දැන් පස්සෙන් ඇවිත් දුන්නත් IMF, WB ලෝන් ගන්න එක ගැන දෙතුන් පාරක් හිතනවලු. 

පල්ලෙහා මට්ටමේ නිලධාරීන් නම් කිව්වේ ටිකක් වෙනස් කථාවක්. අර ආයතන දෙකේම නොලියවුණු ප්‍රතිපත්තියලු රටේ කට්ටියගේ ගතමනාවට  වැඩිම වුනොත් ව්‍යපෘති මුදලෙන් 10% ට වඩා නොයන විදියට වැඩේ කෙරෙන්න ඇහැ ගහගෙන ඉන්න එක. ඉස්සර මහා ජලාශ ව්‍යපෘති එහෙම කෙරෙද්දී රටේ කට්ටිය මේ ගණනෙන් සැහීමකට පත් වුනාලු. මොකද,  අපේ, ඔයගොල්ලන්ගේ මාසේ අදායම බැලුවොත් ඔය 10% කියන්නෙත් ඒවගේ ලක්ෂ ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක්. 




ඔන්න දැන් තමයි පින්තුරේට චීනගේ මුණ වැටෙන්නේ. චීන බැංකුවකින් (ආණ්ඩුවෙන් කියල ණය දෙන්නේ බැංකුවකින්) ආධාර ඉල්ලුවහම ඔය කිසිම කරදරයක් නැහැල්ලු (ආධාර කිව්වට පොලියට ණය හොඳේ). 

පොඩි ව්‍යපෘති යෝජනාවක් හදල ආධාර ඉල්ලුම්පත එක්ක දැම්මහම මාස තුනකින් විතර කට්ටියක් එනවලු වැඩේ ගැන හොයල බලන්න. ඔන්න ඔතනදි තමයි රසවත්ම හරිය එන්නේ. 

ඔය එන කට්ටිය (චීන්නු හොඳේ) අරහේ මෙහෙ ඇවිදලා හොඳට සැප ගන්න අතරේ කියනවලු, මේ වැඩේට යන්නේ ඩොලර් මිලියන 100 යි කියල (අපි එහෙම ගානක් හිතමුකෝ). චීනා කියන්නේ අර වැඩේට යන හරිම ගානලු (ඕනනම් 10% විතර අඩු වැඩි වෙන්න). එතකොට උගන්ඩාවේ මේ වැඩේට පත් කරපු ලොක්ක කියනවලු "බොස් ඕකට ඩොලර් මිලියන 200 ක් පාස් කරන්න, අපිත් ඉතින් කන බොන මිනිස්සුනේකියල. 

එතකොට චීන කියනවලු "ඔව් ලොකු බොස්, ඔයගොල්ලෝ විතරක් යෑ අපිත් කන බොන මිනිස්සුනේ. අපි එහෙනම් ඕකට ඩොලර් මිලියන 400 ක්  දාමු කියල". 

මිලියන 100 ක් වැඩේට, 100 ක් ලොකු බොස්ලට (ඕක ඉතින් ටිකක් බෙදිලා යනවා හොඳේ), 200 ක් චීන සෙට් එකට. 

රටේ මිනිස්සුන්ට හරි සන්තෝසයි... හයිවේ හදල රූං ගාලා වාහනෙන් යනවා....ආයිෂ් අම්ම ගුණ්ඩු 

ලොකු බොස්ටයි වටේම ඉන්න කට්ටියටයි හරිම සන්තෝසයි..... නිකං යෑ ඩොලර් මිලියන සීයක් කිව්වම....

චීන සෙට් එකට පුදුම ආතල් එකක්... උගන්ඩාවට ආව, සැප ගත්ත, ඩොලර් මිලියන දෙසීයක් සාක්කුවේ 

චීන බැංකුවට සතුටු සාගරයයි... ඩොලර් හාරසීයක පොලියත් එක්ක වාරිකය ..... 6.8% පොලියට නොවැ. අර IMF එකේ වගේ 0.5% හිඟන පොලියට යෑ .

උගන්ඩාවේ කට්ටිය මට ඔය කථාව කිව්වේ බොහොම උජාරුවෙන්. එයාලට හරිම ආඩම්බරයි එයාලගේ නුවණක්කාර කම ගැන. 

ඒගොල්ලෝ චීන්නුන්ව රවට්ටන්නේ ඔන්න ඔහොමලු.........!!!!!!!

***********************************



පසු කාලීනව මම උගන්ඩාවට අමතරව සැම්බියාව, නැමීබියාව, බොට්ස්වානා ආදී අප්‍රිකානු රටවල් කිහිපයකටම මගේ සේවය ලබා දුනිමි. මෙහිදී මා දුටු චීන ණය ගනුදෙනුවල විශේෂත්වය නම් සෑම රටකම, සෑම ව්‍යාපෘතියකම එකම ක්‍රියා රටාවක් පැවතීමය. මෙය එසේම දකුණු ඇමරිකාවේද සිදුවන බව කොලොම්බියාවෙදී මම දුටුවෙමි.

එම ක්‍රියාන්විතය සැකැවින් මෙසේය.

සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබාදීමට සමීක්ෂණයක් කරන මුවාවෙන් ඔවුන් තෝරා ගන්නා රටවල, චීනයට අනාගතයේ අවශ්‍යවන සම්පත් හෝ භූගෝලීය පිහිටීම් පිළිබඳව තීව්‍ර ගවේෂණයක් කරයි. මේ සඳහා අදාළ රටවල පර්යේෂණ තලයන්හි සිටින උගතුන්වද සහභාගී කරවා ගනියි. මෙම උගතුන් වැඩි පිරිසක් නොදැනුවත්වම මෙම ක්‍රියාවලියට විශාල දායකත්වයක් ලබා දෙති. 

ඉන් පසු ඔවුන් දූෂිත දේශපාලකයන් හරහා තෝරා ගන්නා ව්‍යාපෘති වලට එම ව්‍යාපෘතියට වැය වන ප්‍රමාණය මෙන් කිහිප ගුණයක මුදලක් ණය වශයෙන් ලබා දෙයි. මෙහිදී අතරමැදියන් ගණනාවක් අතර කොමිස් මුදල් බෙදී යයි. චීනය මෙහිදී තදින්ම අනුගමනය කරන පිළිවෙත නම් ගනුදෙනුවේ කොටස් කරුවන් අතරට අදාළ රටේ සියළුම පක්ෂවල ක්‍රියාකාරීන් ඇතුළත් කරගැනීමයි.

ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ණය මුදලින් වැඩි ප්‍රමාණයක් යථා හෝ අයථා ආකාරයෙන් නැවතත් චීනයටම ඇදී එන ලෙස වැඩ කටයුතු සැලසීම මෙහි තවත් සුක්‍ෂම ක්‍රමවේදයකි.

පොළියට ණය දෙනවා පමණක් නොව පොළිය සමග ණය වාරික ගෙවීමට පොළියට ණය දීමද චීනයේ සිරිතයි.

ඕනෑම ව්‍යාපෘතියක එක් අවස්ථාවකදී අදාළ රටට ණය වාරික ගෙවා ගත නොහැකි තත්වයක් පැන නගින බව ඔවුන්ගේ විශ්ලේෂකයන් පැහැදිලිවම හඳුනා ගනියි. එම අවස්ථාව පැමිණෙන වකවානුව පිළිබඳව ආසන්න මාසයටම නිවැරදිව අනාවැකි ඵල කල හැකි බව වරක් මගේ සැම්බියානු මිතුරකු පැවසීය. ඔහු චීන-සැම්බියා ව්‍යාපෘතියක ඉහල නිලයක් දරයි.

අදාළ තත්වය පැමිණි වහාම රටේ දුෂණයට සම්බන්ධ සියළුම පාර්ශව වල එකගත්වයෙන් ව්‍යාපෘතිය චීනයට පවරා ගැනෙයි. මෙහිදී ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට සෑම පක්ෂයකම නායකයන් එකතු වී තිර නාටකයක් රචනය කර රඟ දක්වයි. එය උගන්ඩාවේ මෙන්ම සැම්බියාවේද සිදු වනු මම දැක ඇත්තෙමි.

මට සුනිල් පෙරේරාගේ සිංදුවක කොටසක් මතකයට නැගෙයි......

"ඒ රටවල එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... අපේ ලොක්කෝ පගා ගහන් නෑ........"





7 comments:

  1. Wow.. masterly written aiya. Looks like its ultimately us who looks like fools at the end of the day.

    ReplyDelete
    Replies
    1. Thanks, but may be I am a fool too Akila; writing what should not be written

      Delete
  2. Thank you Sir, for writing such excellent articles in Sinhalese amid your ultra busy schedule. We need to support our language and country; both are in the process of dying.

    Recently a WB Asian coordinator gave a speech at Saskatchewan Trade and Convention Centre on "Utilization of loans in South Asia".

    He pointed out that most often only 1/16th of non-monitored loans are spend in that region on the purpose for which it is given. The rest 15/16 goes somewhere.

    When the process is closely monitored 25% is used for the purpose, 25% goes to made up expenditures and 50% is returned back to the lender asking for partial cancellation of the loan.

    Interestingly, he says that they return 50%-60% of funds irrespective of the fact that the approved amount of loan is usually 40%-50% of the original amount that initially requested by the borrower.

    ReplyDelete
  3. Maaraine... oya wagema thawath ratak thiyenawa kiyala.. e..ye bona gaman kawda pissek kiwwa..

    ReplyDelete
  4. Mr චෑන් චීන් චූං මහත්තයෝ...අපට ණය ගෙවාගන්න බෑ...මේ හාබර් එකයි...එයාපෝට් එකයි 199 අව්රුදු බද්දට අරගෙන...අපට ණය ගෙවීම සඳහා තව ණයක් දෙන්න !

    ReplyDelete
  5. Thanks for this informative article, I hope you will get most positive response specially for this post. . . .
    โกเด้นสล็อต

    ReplyDelete
  6. ලංකාවේ ඔහේම වෙනවද.:v ඉංදියාවේ තමා එහෙම වෙන්නේ.

    ReplyDelete