Wednesday 6 March 2024

අකුණු සන්නායකයේ රේඩියම්

 


"පරණ අකුණු සන්නායක වල අර්ත් එකේ වටිනා ලෝහ තියෙනවා කියන්නේ ඇත්තද?" මේ පසුගිය දෙවසර තුල මට නිරන්තරයෙන් ලැබුණු පණිවිඩයකි. මේ ලෝහය රේඩියම්, ඉරේඩියම් මෙන්ම පොසිට්‍රෝන තැන්පතුවක් ලෙසත් තිබෙනවාදැයි පැනය මතු කල අය අසා තිබුණි. මගේ පිළිතුර වූයේ අපට දැනට ඇති දැනුම අනුව මෙවැනි දෙයක් සිදු වීමට කිසිඳු ඉඩකඩක් නැති බවයි. එය සම්පුර්ණයෙන්ම අභව්‍ය දෙයක් බව මම ඔවුනට පැවසුයෙමි. මගේ පිළිතුර බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන් කල බව ඔවුන්ගේ ඊළඟ කතාබහෙන් හැඟී ගියේය. මේ අතර මාධ්‍වේදීන්ද විය. සමහරෙක් මගේ දැනුම පිළිබඳව උද්වේගකරව ප්‍රශ්ණ කරන තරමට තත්වය වියවුල් විය. 

මේ ගැන නැවත නැවතත් පැමිණෙන පණිවිඩ නිසා මම ලෝකයේ වෙනත් රටවලත් මෙවැනි විප්‍රකාර සිදුවී ඇත්දැයි විපරම් කලෙමි. අවසානයේදී මට ඉන්දීය මිතුරෙකුගෙන් සමාන සිදුවීමක් පිළිබඳව අසන්න ලැබුණි. 

මීට වසර 20-30ට පමණ පෙර උතුරු ඉන්දියානු ප්‍රාන්ත කිහිපයකම බ්‍රිතාන්‍ය සමයේදී සවි කල කොඩි ගස් සඳහා මිලියන ගණනින් මුදල් දෙන බවට රාවයක් ගොස් ඇත. මේ ලෙස කොඩි ගස් මිළදී ගන්න බව කියූ පුද්ගලයන් ඒ සඳහා අවට සාරා කොඩි ගස ඉවතට ගෙන එම වල අවට සහ කොඩි ගසේ පාදම යම් පරීක්ෂණයකට ලක් කල යුතු බව කියා ඇත. පුද්ගලයන් ගණනාවක්ම තම පෞද්ගලික ඉඩම්වල ඇති පැරණි කොඩි ගස් මේ ආකාරයට විකිණීමට උත්සහ කර ඇත. කොඩි ගස ඉවතට ගෙන පස් ඉවත්කළ වලෙහි සහ කොඩි ගසේ පාදමෙහි යම් නිරීක්ෂණයක් (බොහෝ විට ඔවුන් metal detectors භාවිතාකරන්න ඇත) කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් අවශ්‍ය ලෝහ එහි නොමැති බව පවසා යන්න ගොස් ඇත. මිලියන ගණනකට කොඩි ගසක් විකුණු හෝ මිළදී  ගනු ලැබුවෙකු පිළිබඳව කිසිඳු වාර්තාවක් පලවී නැත.

ටික කලකට පසු ආරංචි වී ඇත්තේ මෙබඳු කතාවකි. යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු විසින් මහරජාවරුන්ගේ මාලිගාවලින් සහ කෝවිල්වලින් කොල්ලකන ලද විශාල වස්තු සම්භාරයක් බ්‍රිතාන්‍ය කිරීටයේ ලාංඡනය සහිත කොඩි ගසක් යට වළදමා ඇත. යම් ලියවිල්ලක ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති අතර පසු කලෙක බ්‍රිතාන්‍යයට රැගෙන යාමට අදහස් කරගෙන සිටි බැවින් ඔහු එම කොඩි ගස ඇති නිශ්චිත ස්ථානය පිළිබඳව සඳහනක් කර නැත. නමුත්  මෙම නිලධාරියා අනපේක්ෂිත ලෙස මැලේරියාව වැළඳීමෙන් ඉන්දියාවේදී මිය ගොස් ඇත. පසු කලෙක මේ ලියවිල්ල කිසිවෙකු අතට පත්ව ඇත. 

බ්‍රිතාන්‍යයන් සිදුකල කොල්ලකෑම් සහ සොරකම් සලකා බලන විට ලංකාවේදී මෙබඳුම සිදුවීමක් වීමට ඇති ඉඩකඩ වැඩිය.  




Sunday 3 March 2024

ඇදහීම මිත්‍යාව සහ විද්‍යාව


"ඇදහීම" සඳහා විවිධාකාර අර්ථ දැක්වීම් ඇත. මේ අතරින් වඩාත්ම පිළිගත් නිර්වචනය නම් "තමාට ප්‍රත්‍යක්ෂ නොවූ යමක් වෙන කෙනෙක් පැවසූ නිසා සර්ව සත්‍යයක් ලෙස පිළිගැනීමයි".

මෙම නිර්වචනයට අනුව පව්-පිං වල විපාක ඇති බව, උපතට පෙර සහ මරණින් මතු පැවැත්ම, නිර්වාණය හෝ මෝක්ෂය, සර්වබලධාරී දෙවි කෙනෙකු සිටින බව, දෙවිවරුන්, දිව්‍යතල, භූත-ප්‍රේත ආත්ම සහ ලෝක, අපාය ආදී සංකල්ප සියල්ලම ඇදහිම්ය.

මිත්‍යාව යන සංකල්පය ඇතිවන්නේ ඇදහීම නිසාය. යමක් අදහන්නාට ඉන් පරිබාහිර වූ සියල්ල මිත්‍යාවන්ය. මේ අනුව මිත්‍යාව පුද්ගල-සාපේක්ෂ කරුණකි. කෙනෙකුගේ පරම සත්‍ය තවත් අයෙකුගේ මිත්‍යාවක් විය හැක. 

බොහෝ අය මගෙන් අසන ප්‍රශ්ණයක් වන්නේ මේ අර්ථ දැක්වීමට අනුව විද්‍යාවත් ඇදහීමක් නොවන්නේද යන්නයි. මෙම ගැටලුවට හේතුව බොහෝ දෙනෙකුට විද්‍යාවේ මූලික සංකල්පය පිළිබඳව අවබෝධයක් නැති වීමයි. විද්‍යාව නමැති සමස්ත ක්‍රියාවලියේම කිසිවක් සර්ව-සත්‍යයක් ලෙස පිළිගැනෙන්නේ නැත (තමාටම ප්‍රත්‍යක්ෂ වුවත්). මෙහිදී සිදු කෙරෙන්නේ යම් කාල රාමුවකදී යම් යම් තත්ව යටතේ යමක් තාවකාලිකව නිවැරදියයි සැලකීමයි. ඉන් පසු එම මොඩලය (නිවැරදි යැයි සැලකූ සංකල්පය) යොදාගෙන විශ්වයේ නොයෙකුත් සංසිද්ධීන් තේරුම් ගැනීමට අපි උත්සහ කරමු. එය කිරීමේදී ගැටළු මතුවන විට අපි මොඩලය වෙනස් කර ගනිමු.

"විද්‍යාවෙන් මිත්‍යාව බිඳීම" ආදී ප්‍රකාශවල කිසිඳු පදනමක් නැත. මිත්‍යාව ඇදහීම මත පදනම් වූ සංකල්පයකි. විද්‍යාවේ ඇදහීමක් නැත. මේ නිසා විද්‍යාවෙන් කිසිවක් මිත්‍යාවක් ලෙස දැකිය නොහැක. විද්‍යාව තුල ඇත්තේ දෙනු ලබන කාල රාමුවක් තුල අපගේ බුද්ධි මට්ටමට සහ දැනුම් සම්භාරයට ගෝචර වන සහ නොවන කාරණා පමණකි. වෙනත් කාල රාමුවක මේ තත්වයන් වෙනස් විය හැක.



Thursday 29 February 2024

මැරීගෙන වැඩකිරීම සහ හරියට වැඩකිරීම


ලාංකික දරුවන්ගේ පාසැල් සමය පිළිබඳව පැනයක් විමසමින් මා දැමූ පෝස්ට් එක බොහෝ දෙනෙකුගේ සත්‍ය හැඟීම් පිට කිරීමට අවස්ථාවක් වූ බව comments කියවන විට ඔබට වැටහෙනු ඇත. මෙය කිසිසේත්ම ලඟදි viral වූ කුඩා සිසුවකුගෙන් සිදුහත් උපත පිළිබඳව විමසන වීඩියෝවට අදාළ නැත. මෙය ඊට වඩා බෙහෙවින් සංකීර්ණ සමාජ ගැටළුවක් පිලිබඳවය.

ගුරුවරියන් කිහිප දෙනෙකුගේ සිත් මේ කරුණ නිසා බිඳී ඇති බව ඔවුන්ගේ comments සහ පෝසට් වලින් මට හැඟී ගියේය. ඔවුන්ගේ හැඟීම් මම මැනවින් අවබෝධ කරගනිමි. මම ඔවුන් සමග එකඟ වෙමි. පාසැල් සාමය බොහෝ දෙනෙකුට කටුක වී ඇති බව සමස්ථ අදහස් මාලාවෙන් ගම්‍ය වේ. ඒ අතරම සමහර ගුරුවරුන් පවසන "අපි මැරිලා වැඩ කරනවා, ඒත් ඇගයීමක් නැත" හෝ " අපි අනවශ්‍ය කැපකිරීම කරනවා ඒත් ඒවා අනෙක් අයට පෙනෙන්නේ නැහැ" යන ප්‍රකාශද වලංගු බව මගේ දැක්මයි. 

එසේ නම් අපිට වැරදුණේ කොතනද?

මා පසුගිය දින කිහිපයේ අප දීර්ඝ කාලීනව ජිවත් වූ රටවල් තුනක (දකුණු අප්‍රිකාවේ, මැලේසියාවේ සහ ස්වීඩනයේ) පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවර ගුරුවරියන් බඳවා ගැනීම පිළිබඳව දන්නා හිතවතුන්ගෙන් විමසීමක් කලෙමි. 

මේ රටවල ගුරුවරුන් බඳවා ගැනීමේදී වෘත්තියට අදාළ මූලික කාර්යභාරය ඇතුලත් (සංක්ෂිප්තය) දැන්වීමක් මාධ්‍යවල පළකරයි. තමන්ට සුදුසුකම් ඇත්නම් සහ රැකියාව තමන්ගේ රුචිකත්වයට අදාළ නම් එයට අයදුම්පත් යොමු කිරීම ජනතාවගේ පුරුද්දයි. රැකියාවට තෝරාගත් පසු ඔවුන්ට තමන් රාජකාරියේදී ඉටුකළ යුතු දෛනික අත්‍යවශ්‍ය කටයුතු මෙන්ම ඉඳහිට කල යුතු අමතර කටයුතු පිළිබඳවද දීර්ඝ විස්තරයක් ලබාදෙයි. දකුණු අප්‍රිකාවේ නම් මේ අමතර කටයුතුවලට යොමුකළ යුතු උපරිම පැය ගණන්ද සටහන් වේ. අදාළ ගුරුවරයා හෝ ගුරුවරිය තම පත්වීම ලබා ගන්නේ තමන් මේ වැඩ ලැයිස්තුව ඉටු කිරීමට කැමති නම් පමණකි. 

මේ අනුව පත්වීම ලබන ගුරුභවතා ලැබෙන වැටුපට සරිලන්න තමන් කල යුතු රාජකාරියේ වපසරිය කුමක්දැයි හොඳින් දනී. මීට අමතරව ඔහුට වැඩ පැවරීමට කිසිවෙකුට හැකියාවක් නැත. මේ නිසා ඔහු සතුටින් වැඩ කරයි. දරුවන්ද ගුරුවරයා පිළිබඳව සතුටු වෙයි. යම් අවස්ථාවක තමන්ට එම රාජකාරිය කිරීමේ අකමැත්තක් දැනුන හොත් ඔහු හෝ ඇය වෙනත් රැකියාවකට මාරු වෙයි. වරක් ස්වීඩනයේදී ගුරු වෘත්තීය අතහැර රාත්‍රී සමාජ ශාලාවක ගායිකාවක ලෙස වෘත්තීය තෝරාගත් තරුණියක් මට හමුවිය. ඇය පැවසුවේ ගුරු වෘත්තියෙන් මෙන්ම මේ රැකියාවෙන්ද ඇය උපරිම තෘප්තියක් ලබන බවයි. 

ලංකාවේ මෙවැනි පිළිවෙතක් ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමු වූ බොහෝ ගුරුවරුන්ගෙන් ලැබුණේ වෘත්තීය පිළිබඳව දැඩි මැසිවිලිය. ඔවුන් බලාපොරොත්තු වූ රැකියාව සහ ඔවුන්ට කරන්න සිදුවී ඇති වැඩ භාරය අතර බරපතල පරතරයක් ඇති සේය. බොහෝ දෙනෙක් පැවසුවේ පෝර්ම පිරවීම, කොළ පත්තර එකතුකිරිම, සිසු සිසුවියන්ගේ බාහිර ක්‍රියාකාරකම් නියාමනය කිරීම, සිසුන්ගේ හොර ඇල්ලීම, පාසැලේ ආරක්ෂාව පිළිබඳව සොයාබැලීම ආදී මෙකි නොකී දහසකුත් කටයුතු මැද  සිලබස් කවර් කරන්න කියා ඉහලින් එන පීඩනය දරන්න නොහැකි බවයි. මේ අනුව දරුවන්ට මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ඉගෙනුම සඳහා පහසුකම් සැපයීම ඔවුන්ගේ අන්තිම පහල priority එක බවට පත්වේ. ඔවුන් කරන්නේ හැකි වැර යොදා (ඔවුන්ගේම වදනින් නම් මැරීගෙන) සිලබස් කවර කිරීමට උත්සහ කිරීමයි.

ඉහත පරිසරය තුල ගුරුවරුන්ට නිතරම හැඟෙන්නේ තමන් මැරීගෙන දරුවන් වෙනුවෙන් වැඩ කරන බව සහ අනවශ්‍ය කැප කිරීම් පවා කරන බවයි. මේ නිසාම ඔවුන් වෙනත් රැකියාවකට වඩා වෙනස් ආකාරයේ ගරු සැලකීම් දරුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙයි. 

බහුතරයක් ගුරුභවතුන් ගුරු වෘත්තීය තොර ගන්නේ වෙනත් රැකියාවක් නොලැබීම නිසා මිස ගුරු වෘත්තියට ඇති ලැදියාව නිසා නොවන බව නොරහසකි. එම වෘත්තියට කැමැත්තෙන් පැමිණෙන අත්ලොස්සද මුහුණ දෙන්නේ හරියට වැඩකිරීමට නොව මැරීගෙන වැඩ කිරීමට බල කරන කළමනාකරණ යාන්ත්‍රණයකට ගොදුරු වීමටයි. අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අතෘප්තිකර ගුරු සේවයක් සහ ඉගෙනීම කරුමයක් වූ සිසු පරපුරකි. 



                 

Saturday 3 February 2024

MEDITATION



It is a widely accepted fact that individuals can regulate their metabolism by practising self-focusing techniques such as meditation. In psychology, hypnosis is used to help people break bad habits by influencing their subconscious mind. These are established facts.

I have encountered individuals who claim to possess the ability to perceive past and future lives, communicate with divine entities, and even visit hell.

However, so far, I haven't come across anyone who has developed their mind to such a high level that they can read the serial number of a currency note inside a sealed box.😇


Tuesday 30 January 2024

ගෝස්ට්බස්ටර්ගේ මරණය සහ භූත ප්‍රේත චැලේන්ජ් බාරගැනීම


ඊයේ දිනය අලංකාරය. ඒ මගේ විෂය පථයෙන් ඈත්වූ විද්වතුන් කිහිප දෙනෙකු සමග රසවත් කතාබහ කිහිපයක්ම ඇතිවූ නිසාය. ඉන් එකක් ඔබ සමග බෙදාගැනීමට සිතුනි. 

මෙය පැවසුවේ සැම්බියාවේ ලුසාකා නුවර සිට පැමිණි සමාජ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි. නමින් ඔහු සෑම් ය. සෑම් හොඳින් හඳුනන පුද්ගලයෙක් (භෞතික විද්‍යා උපාධියක්ද සහිත) ඉතා තදින් මිත්‍යා මත විවේචනය කරන්නෙකු ලෙස සමාජයේ කතා බහට ලක්වී ඇත. යක්ෂයන්, භූතයන් වැනි ගුප්ත සංකල්ප මුළුමනින්ම බැහැර කල ඔහු එවැනි විශ්වාස බිඳ හෙලීමට ප්‍රභල උත්සහයක් ගෙන ඇත. මේ නිසාම ඔහුට දන්නා හඳුනන අය ගොස්ට්බස්ටර් යන නම පටබැඳ තිබුණි. 

මේ අතර සැම්බියාවේ ලිවින්ස්ටන් නගරයේ (ඉතා දැකුම්කළු වික්ටෝරියා ඇල්ල ඇත්තේ මෙම නගරයේය) තිබූ භූත බංගලාවක් යයි ප්‍රසිද්ධ නිවසක හැකිනම් රැයක් ගතකරන ලෙස යම් පුද්ගලයෙක් ගෝස්ට්බස්ටර්ට අභියෝග කර ඇත. ඒ ඩොලර් 100ක ඔට්ටුවකටය. 

මෙම විශාල නිවස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සතුවී තිබී ඇති අතර 1970 ගණන් වල ඔහුගේ බිරිඳ මෙම නිවසේ කාමරයක ගෙල වැළලාගෙන මියගොස් ඇත. මෙම කාන්තාව සැමියා විසින් මරා එල්ලන ලදැයිද ඒ දිනවල කතාවක් පැතිර තිබී ඇත. කෙසේ නමුත් එම මරණයෙන් පසු ටික දිනක් ගතවන විට නිවසේ නොයෙකුත් ශබ්ද ඇසෙන්න  සහ අද්භූත සිදුවීම් ඇතිවන්න පටන්ගත් බව කියවේ. මේ නිසා ගෙදර වැඩපල කර දුන් කළු ජාතික කාන්තාවද, වතු පල්ලාද (gardener) සේවයට යෑම නවතා ඇත. ටික කාලෙකින් නිවස වසා දමා සුදු ජාතිකයා දරුවන්ද සමග එංගලන්තයේ පදිංචියට ගොස් ඇත. එතැන් සිට වසර 50 කටත් වඩා මෙම නිවස වසා දමා තිබී ඇති අතර රෑ අඳුර වැටීමෙන් පසු ඒ අසලින් වැරදීමකින් වත් කිසිවෙකු නොයන බව සෑම් පැවසීය. මෙම නිවස තුලින් රාත්‍රියට භූත එලි පෙනෙන බවද බොහෝ දෙනාගේ විශ්වාසය විය. 

ගෝස්ට්බස්ටර් ඉතා කැමැත්තෙන් මෙම අභියෝගය බාරගෙන ඇති අතර නියම කරගත් දිනෙක සන්ධ්‍යාවේ ඔහු සිය නිදන ආම්පන්න සහ රාත්‍රී ආහාරය රැගෙන එම නිවසට ඇතුළු වී ඇත. පසුදා උදෑසන නියමිත වෙලාවට නිවසින් පිටතට ඔහු නොආ බැවින් අභියෝගය කල පුද්ගලයා පොලිසිය සහ ගම්වැසියන් කිහිප දෙනෙකු සමග නිවසට ඇතුළු වී ඇත. එහිදී ඔවුන්ට දැකගත හැකිව ඇත්තේ කාමරයක් තුල මියගොස් සිටි ගෝස්ට්බස්ටර්ගේ මෘතදේහයයි. ඔහුගේ සිරුර නිල්වී ඉදිමී තිබී ඇත. මේ සමගම ගම්වැසියන්ගේ භූතයන් පිලිබඳ බිය දෙගුණ තෙගුණ වන්නට ඇත.

කෙසේ නමුත් ගෝස්ට්බස්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයාගෙන ඇත්තේ ඔහු විෂ වායුවක් අඝ්‍රාණය කිරීමෙන් මියගොස් ඇති බවයි. මේ පිළිබඳව උනන්දු වූ සෑම් ඔහුගේ සරසවියේම  රසායන ඉංජිනේරු විද්‍යා අංශයේ සේවය කරන සඟයෙක් සමග එකතුවී එම නිවසේ ගෝස්ට්බස්ටර් මියගොස් සිටි කාමරය තුල වායු සංයුති අධීක්ෂකයක්  (air composition monitor) සවිකර ඇත. දින පහකට පමණ පසු එහි දත්ත නිරීක්ෂණය කරන විට පෙනී ගොස් ඇත්තේ එම නිවස තුල ඇමෝනියා, මීතේන්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි උග්‍ර ගණයේ විෂ වායු සාන්ද්‍රණය ඉතා අධික බවයි. දහවල් කාලයේදී මෙම සාන්ද්‍රණය අඩු මට්ටමක පවතින අතර අඳුර වැටීමත් සමග ක්‍රමයෙන් වැඩි වී මධ්‍යම රාත්‍රීය පසුවන විට උපරිම සාන්ද්‍රණයකට ළඟාවේ. මෙය විනාඩි කිහිපයක් තුල වැඩිහිටි පුද්ගලයෙකු මරණයට පත් කිරීමට තරම් ප්‍රමාණවත්ය. වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙය නිවසේ බිත්ති මත සහ දිරාගිය ලී කොටස් මත වර්ධනය වන දිලිර සහ බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන්නක් බවයි. එහි තිබූ සමහර දිලීර ජෛව දීප්තිය (bioluminescence) මගින් නොයෙකුත් ආලෝක ධාරා මවන බවද ඔවුන් සොයාගෙන ඇත. ඕනෑම නිවසක් කාලයක් තිස්සේ පරිහරණයට නොගෙන වසා දමා ඇතිවිට මේ තත්වය ඇතිවිය හැකි බව සෑම් පැවසීය. 

අපි තව දුරටත් මේ ගැන කතා කල අතර වසා දැමු නිවාසවල පමණක් නොව නුග (banyan tree), විලෝ වැනි අධික තෙතමනය ඇති ස්ථානවල සැදෙන දැවැත්ත රුක්ෂ වලද මුල් ආශ්‍රිතව මෙම විෂ වායු ඇතිවන බව සෑම් පැවසීය. මෙය බොහෝ විට මීතේන් වායුව මුල් කොටගත් විෂ වායු සංකලනයකි. පසේ ඇති කුහරවල දිලිර සහ බැක්ටීරියා මගින් ඇතිකරන මෙම වායු බුබුළු ක්‍රමයෙන් වර්ධනය වී එක් අවස්ථාවක අධික පීඩනය නිසා වායු ගෝලයට මුදා හැරේ. මේ අවස්ථාවේදී එම ස්ථානය අසල සිටින පුද්ගලයෙක් දැඩි අනතුරකට මුහුණ දෙයි. එය විකාර රූපී මායාවන් දැකීමේ (hallucinations) සිට මරණය දක්වා පරාසයක විපතක් විය හැක. මෙවැනි ශාකවල කන්දෙහි සහ පත්‍රවල රාත්‍රී කාලයේ  ජෛව දීප්තිය ඇති කරන දිලීරයන්ද වර්ධනය වේ. මට ලාංකිකයන් දකින භූත,  ප්‍රේත, දේවතා එළි මතකයට නැගුණි. 

අප තව බොහෝ දේ කතා කලත් මගේ ලිවීම මම මෙතෙකින් නවතමි. මට දිය යුතුව තිබූ පණිවිඩය නම් ඔබ ගුප්ත කාරණා පිළිබඳව  විශ්වාස කලත් නැතත් ඒවා ප්‍රයෝගිකව ඇතැයි හෝ නැතැයි ඔප්පුකිරීම සඳහා අභියෝග බාරගැනීමට තරම් අනුවණ නොවන්න. 



Monday 29 January 2024

Why JVP was passive on the Online Safety Bill?


As I evaluate, the SL Government brought the social media regulatory bill at the wrong time for them. It’s clear that the intention of the bill is to silence the critics of the government. However, who will be the beneficiaries of this bill?

Oppositions need no false accusations or fake news to bring down this government and its allies. It is a government that brought the country to bankruptcy exposing the public to utter hardships. The majority had to suffer in many miles-long queues just to buy a few litres of fuel, a cylinder of LPG, a packet of powdered milk, and many other essentials, due to its corruption, idiocracy, wastage, and inefficiency. Finally, in November 2023, the Supreme Court, the apex legal institute of the country, ruled that the three Rajapakshas; Gotabhaya, Mahinda and Basil, were responsible for the downfall of the country (SC/FRA/212/2022). Thus, it is legally proven that these culprits and their party destroyed, once a quite stable economy. In such a situation it is hardly required for anyone to make fake news to destroy the image of already ruined personalities and a party. 

On the other hand, the emerging force JVP is the worst affected due to such allegations and accusations at present (true or false is not known yet). They are being attacked from all corners including the fractions of the opposition. The bill will get them some protection and blanket cover. 

They should have vehemently opposed this bill rather than thinking of their own benefits. 


Saturday 27 January 2024

සනත් නිශාන්තගේ මරණය


තවත් එක් මැර තක්කඩියෙක් ලෙස ප්‍රකටව සිටි සනත් නිශාන්ත නම් දේශපාලකයා මිය ගියේය. එය බිහිසුණු මරණයකි. එනමුත් එහි විශේෂ යමක් මම නොදකිමි. එහෙත් ඔහුගේ පසු-මරණ සමාජ ප්‍රතිචාරය සමස්ථ ලාංකීය දේශපාලනයම තැති ගැන්වූ බව තතු දන්නෝ හොඳින් දනිති. පොහොට්ටුවන්ට හෝ ඔවුන් වටේ සිටින හෙන්චයියන්ට මෙය තැති ගැනීමක් පමණකැයි මට සිතෙයි. එයින් ඔබ්බට යමක් අවබෝධ කරගත හැකි පිරිස දැන් එහි ඇත්තෙම නැති තරම්ය. එහෙත් රනිල් වික්‍රමසිංහ, සජබයේ සිටින උගත් කිහිප දෙනා මෙන්ම ජූලි චංග්ද මෙය ගැඹුරින් කියවන බව මට සහතිකය. ජවිපෙ ඇතුළු NPP ය මෙය කෙසේ කියවනවාදැයි මම නොදනිමි. තාවකාලික උත්තේජනයකින් බොහෝ ඈතට ගිය යථාර්තයක් එහි ඇති බව පමණක් මම ඔවුන්ට මතක් කර දෙමි.

සනත් නිශාන්තගේ මරණය ගැන පළවූ බොහෝ අදහස් හුදු වෛරයකින් ඔබ්බට ගිය සංකීර්ණ මානසික පිපිරීමක් විය. කෙනෙකුගේ මරණයේදී සතුටු නොවිය යුතු යයි පළකල අදහස් තුලද ගැබ් වුයේ උපහාසයකි. එසේම සනත් නිශාන්තගේ කිට්ටුතම හිතවතුන් ඔහු වෙනුවෙන් පළකල සැබෑ ශෝක ප්‍රකාශ වලද "ඔහුගේ දේශපාලනය කුමක් වුවත්", "ඔහුගේ සමාජ හැසිරීම කුමක් වුවත්", වැනි වගන්ති ඇතුලත් කර තිබුණි. 

පසු-මරණ කාලය තුල පොහොට්ටු දේශපාලකයන් අතර වූ අන්ද මන්ද ස්වභාවය ඉතා පැහැදිලිව පෙනෙන්නට විය. ඔවුන් සියල්ලෝම අතිශයින් තැති ගෙන සිටි ආකාරයක් පෙන්නුම් කරයි. එය සනත් නිශාන්තගේ මරණය නිසා සිදුවූවක් යයි මම නොසිතමි. ඔවුන්ට සනත් නිශාන්ත තවත් එක් මැර සඟයෙක් පමණි. නමුත් ඔවුන්ගේ තිගස්සිමට හේතුවන්නේ පසු-මරණ සමාජ ප්‍රතිචාරයයි. මෙහිදී එක් ඇමති වරයෙක් ඉතා අමනෝඥ කතාවක් කීය. එනම් මේ සමාජ ප්‍රතිචාරය දක්වන්නේ එක් පක්ෂයකට අයත් පුද්ගලයන් බවයි. මෙය සත්‍ය නම් ලංකාවේ අති බහුතරයක් එම පක්ෂයට අයත් රටවැසියන් විය යුතුය.   

මනෝවිද්‍යාවේ "සාමුහික සමාජ ප්‍රතිචාර" පිළිබඳව හදාරා ඇති අයෙකුට සනත් නිශාන්තගේ මරණයත් සමග ඇති වූ තත්වය පැහැදිලිව අවබෝධ කරගත හැක. කෙනෙකුට මෙය සමාජ මාධ්‍ය සහ ජාතික පුවත්පත්වල මෙම ප්‍රවෘතියට සමගමිවූ  "comments" පමණකැයි ලඝු කොට තැකිය නොහැකිය. අරගලයක් තුලින් ජනාධිපතිවරයෙක් නෙරපා දැමුවේද මෙලෙසම සමාජ මාධ්‍ය බලවේගයක් තුලිනි. මෙය පහල මට්ටමේ බොහෝ පාක්ෂිකයන්ට නොතේරුණාට ඉහල මට්ටම හොඳින් අවබෝධ කරගනියි.

ලෝක දේශපාලනයේ අතීතය කියවා ඇති කෙනෙකුට සැප්තැම්බර් ඔක්තෝම්බර් වන විට "force majeure" තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ අධික බව වැටහෙනු ඇත. කල්පනාවෙන් සිටිමු.